අම්බලන්ගොඩ ධීවර වරායේ මාළු කිලෝ ලක්ෂයක් කුණු වෙලා | දිනමිණ

අම්බලන්ගොඩ ධීවර වරායේ මාළු කිලෝ ලක්ෂයක් කුණු වෙලා

අම්බලන්ගොඩ ධීවර වරායේ මාළු කිලෝ ලක්ෂයක් පමණ කුණු වී ඉවත් කිරීමට සිදු වී ඇති බවත් මේ වන විට බෝට්ටු පහක පමණ මාළු හිරවී ඇති බවත් ධීවරයා දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතින බවත් සමස්ත ලංකා ධීවර සංගමයේ සභාපති ඩී.ආර්. රාජපක්ෂ මහතා පවසයි. 

මේ වන විට ධීවර සංකීර්ණය පාළු ස්වභාවයක් ගෙන ඇති අතර එහි දෛනික පැමිණෙන පිරිස නිවෙස්වලට වී සිටින බව පවසති. කෙසේ වුවද ධීවරයන් පවසන්නේ මේ ගැටලුවලට ඉක්මනින් විසඳුමක් දිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් ධීවර සංකීර්ණයේ කළමනාකරු හේමසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට මෙසේ කීය. මෙහි මේ වන විට යාත්‍රා 200ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා. කුඩා යාත්‍රාත් අසූවක් පමණ තියෙනවා. මේ වන විට මාළු ගොඩ බාන්න බැරිව කුණුවෙලා. කොහොම වුණත් වරායෙන් අනාරක්ෂිතයි කියල නිලධාරීන් කියනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ වහන්න කියලා. කොහොම වුණත් තෙල්, වතුර ගහන්න බෝට්ටු එන්නේ නැති නිසා අපි හිටිය කියල ප්‍රතිඵලයක් නෑ. ආර්.එම්.එස්. ධීවර යාත්‍රාවේ හිමිකරු උපනන්ද මහතා - මේ වනවිට කොරෝනා නිසා ධීවරයන් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. මාළු කුණු කොල්ලෙට ගිහින්. විකුණගන්න බෑ. දරු පවුල් නඩත්තු කරන්න බැරි වෙලා. ගෙනාපු මාළු ටික බාගන්න බැරි වෙලා. අපි ඉල්ලන්නේ ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න කියලයි. අම්බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ආර්. පාලිත මහතා - ධීවරයන් අනාරක්ෂිතයි කියලා අපිට කොහොමවත් කියන්න හැකියාවක් නෑ. ඊයේ අපි පීසීආර් පරීක්ෂණ 360ක් සිදුකළා. ඒවායේ ප්‍රතිඵල තාම ඇවිත් නැහැ. ඒ ප්‍රතිපල ආවට පස්සේ සිදු කළ යුතු ආරක්ෂිත පියවර ගන්නවා.

නව අදහස දක්වන්න