සෝෆා අතර කිරුළු පැලඳි සම්පත් සෝෆා | දිනමිණ

සෝෆා අතර කිරුළු පැලඳි සම්පත් සෝෆා

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

කාලයේ තාලයට නිවෙසක අසිරිය මෙන්ම සමාජ තත්ත්වයද කියාපාන ගෘහ උපකරණයකි සෝෆා කට්ටලය. විදෙස් ආනයනයක් දැයි සිතෙන තරමට බොහොමයක් සෝෆා ශෝභමානය. එපමණක් නොවේ මිලද එ්තරමට සාධාරණය. පහළ මධ්‍යම පන්තියේ සිට මධ්‍යම පන්තියට රුචි මෙන්ම ධනපති පන්තියේ සිත් වශී කරන අන්දමේ සෝෆා නිමවා තිබීම ඒ සුවිශේෂී කම්හලේ විශේෂත්වයයි.

ඒ කර්මාන්ත ශාලාව නම් අනෙකක් නොවේ පානදුරට නුදුරු මඩුපිටයෙහි පිහිටි සම්පත් සෝෆා ආයතනයයි.

එහි නිර්මාතෘ මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂ වන්නේ සම්පත් ෆොන්සේකා මහතායි. මෙරට බොහෝ ව්‍යාවසායකයන්ගේ කතාමෙන් ඒ කතාවද දුෂ්කර මඟක අත්දැකීම් පිළිබඳ කියැවෙන්නකි. එහෙත් විශේෂත්වය නම් ඒ මඟ ඔහුට සහාය වූ සෑම කෙනකුම ඔහු සමීපයේ රඳවා ගැනීමට තරම් සහෘදබවක් ඔහු තුළ පැවතීමයි.

"මගේ පවුලෙ සහෝදර සහෝදරියෝ සිව් දෙනයි. මගේ මවුපියන් ඉතාමත් අසීරුවෙන් අපගේ මූලික අවශ්‍යතා වුණත් සම්පූර්ණ කළේ. වසර 30ක් පුරාවට පවුලක් ලෙසින් අපි ජීවත් වුණේ පොල්අතු සෙවිලි කළ කුලී නිවෙසක. ලොකු වත්කමක් නැති වුණත් අපිට තිබුණේ එකම ශක්තිය එකමුතුකමයි. හැකි අයුරින් යමක් උගන්වන්න පාසල් යවන්න අම්මට වුවමනාව තිබුණත් මට තිබුණෙ අම්මට කුමන අන්දමකින් හෝ සහනයක් සැලසීමට. ඒ නිසා මම හතේ පන්තියේ ඉඳලම උත්සාහ කළේ කීයක් හෝ උපයා ගෙදර වියදමට සහාය වෙන්න. ඒ වෙනුවෙන් විවිධ දේ කළත් මම මුලින්ම රැකියාවක් ලෙස කළේ ටේලරිං රැකියාවක්. මම වැඩ කළ ස්ථානයේ ස්වාමියා ඉතා හොඳ මහත්මයෙක්. මා පිළිබඳ විශ්වාසයෙන් පසු වුණා. නමුත් එතන කලක් තිස්සේ සේවය කළ කෙනෙත් යම් වංචාවක නිරතවෙනවා මම දැක්කා. මේ තත්ත්වය දිගින් දිගටම සිදු වන අයුරු දකිමින් එතන සේවය කිරීම මට අපහසු වුණා. වංක තැනැත්තා පැරණි සේවකයෙක්. අලුත් මම පැරණි කෙනකු ගැන හෙළි කිරීම මටම අනතුරක් විය හැකියි. නැවතත් කබලෙන් ළිපට වැටෙන බව දැන දැන මා රැකියාවෙන් සමුගත්තා. 

මා පත්වූ අසරණ තත්ත්වය පිළිබඳ හඳුනාගත් ආපිකෝ ආයතනයේ ප්‍රසන්න මහත්තයා මට කොට්ට කවර මහන කොන්ත්‍රාත්තුවක් භාර දුන්නා. රෙදි මැසීමට ඉඩක් හෝ විදුලි ආලෝකය නැති මම මේ කටයුත්ත ආරම්භ කළේ මිතුරකුගේ නිවෙසේ. ඒ අතරයි ආපි⁣කෝ එකේ රුවන් කියල මහත්තයෙක් සෝෆා සෑදිය හැකිදැයි විමසා සිටි⁣යේ. සෝෆා කට්ටලයක් සැකසීම පිළිබඳ ඉන් පෙර සිතා නොබුණත් එතැන් සිට මගේ එකම කාර්ය වූයේ ඒ කටයුත්ත මැනවින් කළ හැකි ආකාරය පිළිබඳවයි. මුලින් එය දුෂ්කර කටයුත්තක් ලෙස හැඟුණත් මා එය කර බැලීමට අදිටන් කර ගත්තා. ඒ අනුව මොරටුවේ වඩු බාස් කෙනකු වෙත ගොස් සෝෆාව සඳහා අවැසි සැකිල්ල සකසා ගත්තා. ඉන් අනතුරුව එම ආයතනයෙන් දුන් මිම්මට අනුව රෙදි කපා ⁣⁣කොට්ට ආදිය මසා මනා නිමාවක් ලැබෙන අයුරින් සෝෆාව සකස් කළේ. කඩමින් හදමින් අලවමින් දිවා රෑ වෙහෙසුණු එ් කටයුත්ත නිමා කිරීමට දින 4ක කාලයක් ගතවී තිබුණා. මේ පළමු නිෂ්පාදනය කරද්දී මගේ අක්කාගේ සහාය ලැබුණා. ඒත් අත්හදා බැලීමක් ලෙස කළ ඒ නිමැවුම ඒ ආයතනය විසින් පිළිගත්තා. ඒ අනුව සෝෆා සැකසීමේ ⁣කොන්ත්‍රාතුවක් ලැබුණා. දිනකට එක් සෝෆාකට්ටලය බැගින් නිම වන තත්ත්වයට අපි දියුණු වුණා. මේ සියල්ල කළේ මගේ කුලී නිවෙස සමීපයේ මඩුවක. මේ අතරේ හදිසියේම මගේ තාත්තා මිය ගියා. මගේ සැබෑ තත්ත්වය බොහෝ දෙනෙක් දැන ගත්තේ එවිටයි.

මේ අනුවයි. ද ෆිනෑන්ස් ආයතනයේ ඉහළ වෘත්තියක නිරත වූ ප්‍රසන්න මහතා ව්‍යාපාරය දියුණු කරගන්නා ලෙස පවසමින් මාවෙත තුන් ලක්ෂ අසූ දහසක මුදලක් ලබාදුන්නේ. ඒ මුදලින් ලක්ෂයක් ව්‍යාපාරයට ආයෝජනය කළ මා ඉතිරි මුදලින් පර්චස් 12ක ඉඩමක් මිලදී ගත්තේ ව්‍යාපාර කටයුතු මෙන්ම කුලී නිවෙසින් නික්මීමේ අදිටනින් .

ආපිකෝ ආයතනයේ කොන්ත්‍රාත්තුවට අමතරව වඩාත් නිර්මාණශීලීව තමන්ගේම නිර්මාණයන් සෝෆා ලෙසින් ඉදිරිපත් කිරීමට සම්පත් අවකාෂය උදා කර ගන්නේ ඉන් අනතුරුවයි."

මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන සඳහා සෝෆා සපයන ප්‍රමුඛතම ආයතනයක් ලෙසින් දිගු ස්ථාවර ගමනක් පැමිණ සිටින සම්පත් ෆොන්සේකා විසල් ආයතනයක හිමිකරුවකු සේම තමාට මෙන්ම තමා සමඟ එක්ව ගමනක් පැමිණි සොයුරු සොයුරන්ටද ඉඩම් මෙන්ම නිවාස ඉදිකර ගැනීමට සහාය වෙමින් පවුලක් ලෙසින් ගොඩනැඟී තිබීම සැබවින්ම ආදර්ශය සම්පන්නය. බිම් අඟලක් උපතින් රැගෙන නොආවද අද ඒ සියල්ල අංග සම්පූර්ණ කර ගැනීමට තරම් ඔවුන්ගේ ශක්තිය ප්‍රබලය.

මේ වන විට සම්පත් ෆොන්සේකා සූදානම් වෙන්නේ සෝෆා කර්මාන්ත ශාලාව ග්‍රාමීය පෙදෙසින් දුරස්ව ඉදි කර ඇති නව ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමටය'. "ලී කපන ඉරන ශබ්දය අවට අයට කරදරයක් යැයි මගේ හිත නිතර කරදර වෙනවා. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පොත්පත් මම වසරකට වරක් පරිත්‍යාග කරනවා. ඒ දරුවන්ගේ අධ්‍යාපනයට මේ ශබ්ද නිසා යම් ආකාරයක බාධාවක් වේ දැයි මගේ හිත නිතර වද වෙනවා. කඩිනමින් නව ස්ථානයේ ආයතනය ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරන්නේ. "හෙතෙම පවසන්නේ අධිෂ්ඨානයෙන් යුතුවයි.

සම්පත් සෝෆා විශේෂත්වය වන්නේ ඕනෑම ආකාරයක මෝස්තරයක් නිමවා දීමට ඇති සමත්කමයි. කොවිඩ් 19 හේතුවෙන් විදේශයන්ගෙන් රෙදි සහ අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සීමාවී ඇති අවස්ථාවේ වුව නිෂ්පාදනය අඛණ්ඩව සක්‍රීයව පවත්වා ගැනීමට සමත්වීමයි. ඒ සඳහා උපකාරීවී ඇත්තේ කලක් තිස්සේ ගොඩනඟා ඇති අමුද්‍රව්‍ය ගබඩාවයි.

සිංගර්, ආපිකෝඑ, සොෆ්ට්ලොජික්, දිනපාල වැනි ප්‍රමුඛ පෙළේ ආයතන රැසකම ප්‍රමුඛතම සැපයුම්කරු වන්නේ සම්පත් සෝෆා ආයතනයයි. ඔවුන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට අමුද්‍රව්‍ය තොග පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වෙයි. රැකියාවක් නොමැතිව දිනෙක රහසින් කඳුළු සැලූ සම්පත්, මේ වන විට ස්ථීර වශයෙන් රැකියා ලබාදී ඇති පිරිස 25කි. කොන්ත්‍රාත් පදනමින් සේවය කරන පිරිස 100කට අධිකය. දිනක වැටුපට වඩා කෑලි ගණනට කරන වැටුප් ලබාදීම වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවකයා ඉන් මනාඵල නෙළාගන්නා බවයි.

පසුගිය දිනවල කොළඹ BMICH හි පැවති "කැදැල්ල "මෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණ පිළිබඳ ප්‍රදර්ශන අවස්ථාවන් සඳහා සම්පත් සෝෆා සුවිශේෂී දායතත්වයක් ලබාදී තිබුණි. එම අවස්ථාවෙන් අනතුරුව රට පුරා විවිධ ප්‍රදේශ සහ ආයතන වෙතින් ඇණවුම් රාශියක් ලබාගැනීමටත් අවස්ථාව ලැබුණු බව සම්පත් පවසන්නේ ව්‍යවසායන් දියුණු කිරීමට වෙළෙඳ ප්‍රදර්ශන මෙන්ම ඒ පිළිබඳ දැනුවත් කිරීම් පුහුණුවීම් මෙන්ම දෙස් විදෙස් තාක්ෂණික දැනුම ආදිය හුවමාරු කර ගැනීමට අවස්ථාවක් හිමිවේ නම් වඩාත් වැදගත් බවයි.

2019 වසරේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙතින් ව්‍යවසායිකයන් වෙනුවෙන් පැවැත්වූ සම්මාන උලෙළෙහි දැව අංශයේ භාණ්ඩ සඳහා රන් සම්මානය හිමි වූයේ සම්පත් ෆොන්සේකාටයි. එය ව්‍යාපාරික දිවියේ සන්ධිස්ථානයක් බවයි සම්පත්ගේ අදහස.

දිරිමත් ව්‍යවසායකයකු හොඳ සොයුරකු මිතුරකු සේම සම්පත් දයාබර පියකු මෙන්ම සැමියෙකි. ඒ සෑම භූමිකාවක්ම උපරිම සාධාරණ වීමට තරම් ඔහු සතු හැකියාව මෙන් කුසලතාවද හේතු වන්නට ඇත.

සම්පත් විවාහ වී තිබු⁣ණේ නවයොවුන් වියේ හඳුනා ගත් තම දයාබරිය සමඟයි. ජීවිතය දිනන්නට ඔහු වෙර දරන සමයේ ඈ නොකඩවා අධ්‍යාපනයෙන් ඉදිරියට ගියේය. මුලින් මව්පිය ආශිර්වාදය නැතත් දිරිය සම්පන්න මිනිසා ඒ අභියෝගයද මැනවින් ජය ගැනීමට දක්ෂ විය. පුතකු මෙන්ම දියණියකගෙන් යුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ⁣කැපවෙන්නේ ඔහුගේ බිරියයි. තමා මූලික අධ්‍යාපනයට සීමාවුවත් තම දරුවන් ජාත්‍යන්තර පාසල් වෙත ඇතුළත් කර ඇත්තේ සියල්ලට ඉහළින් අධ්‍යාපනය පවතින බවට ඇති විශ්වාසය නිසාමයි.

"දරුවන්ගේ කටයුතු නිසා ව්‍යාපාර කටයුතුවලින් කලක් ඈත්වී සිටියත් දැන් මම ඒ කටයුතු කළමනාකරණය කිරීමට බිරියටත් වගකීමක් පවරලයි තිබෙන්නේ නාස්තිය අවම කිරීම සඳහා සැලසුම් කිරීමයි ඇයගේ වගකීම" නූතන කළමනාකරණ සිද්ධාන්තයක් වන "ලීන්" නැතහොත් කාලය, ශ්‍රමය මෙන්ම අමුද්‍රව්‍ය නාස්තිය අවම කොට නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම පිළිබඳ මෙබඳු ව්‍යාවසායකයන්ට අත්දැකීම් ලබාදිය හැකි වාතාවරණයක් සැකසිය හැකි නම් මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයන් වන මෙවන් ව්‍යාපාර මහා පරිමාණ ව්‍යවසායන් බවට පත් කිරීමට හැකිවනු ඇත. ඒ සඳහා අවැසි කිසිදු මඟපෙන්වීමක් මෙතෙක් ඔවුනට ලැබී නැත.

කෙසේ වෙතත් වත්මන් රජය පත්වීමෙන් අනතුරුව යුද හමුදාවේ සුබ සාධක අංශය වෙතින් රණවිරුවන් වෙත සෝෆා වඩාත් සහන මිලකට ලබාදීමට ලද අවස්ථාවද තම ව්‍යාපාරික දිවියේ සුවිශේෂී අවස්ථාවක් බවයි සම්පත් පවසන්නේ.

"සෝෆා සඳහා විදෙස් වෙළෙඳපො⁣⁣ළෙහි හොඳ ඉඩක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. අපනයන සඳහා ඇති අවස්ථාව කෙබඳුදැයි මේ වන විට සොයා බලමින් සිටින්නේ. මේ ව්‍යාපාරය ව්‍යාප්ත කළ හැකි සීමාව බොහෝ පුළුල් බවයි මගේ විශ්වාසය. මගේ සෑම නිෂ්පාදනයක් සඳහාම වසර 10ක වගකීමක් සහිතයි. මෙතරම් දුරක් පැමිණීමේ පදනම මනා නිමාව මෙන්ම කල්පැවැත්ම සහ ඉතා හොඳ අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදන සිදු කිරීමයි. සෝෆා කියන්නේ දිනෙන් දින අලුත් වන වෙළෙඳපොළක්. අප ඊට අනුගතවීමයි වැදගත්" සම්පත් පවසන්නේ විශ්වාසයෙන් යුතුවයි.

නව අදහස දක්වන්න