අමෙරිකාව සහ ඉන්දියාව බෙකා ගිවිසුමට අත්සන් තබති | දිනමිණ

අමෙරිකාව සහ ඉන්දියාව බෙකා ගිවිසුමට අත්සන් තබති

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික්, පොම්පියෝ සහ ඉන්දිය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව.

අති නවීන යුද තාක්ෂණය රහස් චන්ද්‍රිකා දත්ත ඔත්තු තොරතුරු හුවමාරුවට

දෙරට එකඟයි චීනය ප්‍රජාතන්ත්‍රවාදයට මිත්‍රශීලිත්වයක් නෑ
- අමෙරිකා රාජ්‍ය ලේකම් ඉන්දියාවට කියයි

අමෙරිකාව සහ ඉන්දියාව අතර අති නවීන යුද තාක්ෂණය, රහසිගත චන්ද්‍රිකා දත්ත සහ ඔත්තු තොරතුරු හුවමාරු කර ගැනීමට පසුගියදා (27දා) ගිවිසුමක් අත්සන් කෙරිණි. බෙකා (BECA) මූලික හුවමාරු සහ සහයෝගිතා ගිවිසුම ( Basic Exchange and Cooperation Agreement ) නමින් හැඳින්වෙන මූලික හුවමාරු සහ සහයෝගිතා නම් ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමට පෙර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැති අතර ඉදිරියේ දීත් වැඩිදුරටත් ආරක්ෂක සහ හමුදා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව වාර්තා හෙළි කරයි.

විදේශ ඇමැති එස්. ජෙයිශංකර් සහ ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් ටී. එස්පර් සාකච්ඡා පැවැත් වූ අතර දෙපාර්ශ්වයේම ඉහළ මට්ටමේ හමුදා සහ ආරක්ෂක නිලධාරීහු මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.

ඉන්දියාවට තර්ජනවලින් මිදී ස්වාධිපත්‍යය සහ නිදහස ආරක්ෂා කර ගැනීමට එක්සත් ජනපදය සහාය ලබා දෙන බව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය දූත මෙහෙවරේදි පවසා ඇත. චීනය සමඟ ගැටුමට මුල් වී තිබෙන ඉන්දු චීන දේශ සීමාවේ පෙරදිග ලඩාක් ප්‍රදේශය ගැනද පොම්පියෝ අදහස් ප්‍රකාශ කළේය. චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට මිත්‍ර ශීලිත්වයක් නැතැයි ද ඔහු කීවේය.

නව අදහස දක්වන්න