කොවිඩ් වෙනුවෙන් අවශ්‍ය වුවහොත් පොලිස් අතිරේක බලඇණි | දිනමිණ

කොවිඩ් වෙනුවෙන් අවශ්‍ය වුවහොත් පොලිස් අතිරේක බලඇණි

කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතය කිසිදු අයුරකින් අඩපණ කිරීමට සූදානම් නොමැති බවත් පොලිස් දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් අවශ්‍යවුවහොත් අතිරේක බලඇණි ද සූදානම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.  
 
ඔහු කියා සිටියේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 22නෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. එමෙන්ම තවත් පොලිස් නිලධාරීන් 400කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(30) උදෑසන කියා සිටියේ පූනානි හා කුණ්ඩසාලේ පොලිස් රෝහලක් මේ ආසාදිත නිලධාරීන් වෙනුවෙන් ප්‍රතිකාර සදහා වෙන් කර ඇති බවයි. 
 
එසේම ඊයේ (29) පස්වරුවේ හදිසියේ මියගිය බියගම පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය. 
 
"බියගම පොලිස් ස්ථානාධිපතිවරයා අවුරුදු 52ක් වයස අයෙක්. ඔහු ඊයේ සවස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සාකච්ඡාවට සහභාගී වෙමින් සිටියදී ඔහුට හෘදයාබාධයක් එහෙම නැත්නම් පපුව රිදෙනවා කියලා පවසලා තියෙනවා. ඒ අවස්ථාවේදීම ඔහුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. 
 
ඔහු ඇත්තටම යම් ආකාරයක නිදන්ගත රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බව තමයි වාර්තා වෙන්නෙ. ඉතිං ඒක නිසා අපි දැනට තියෙන තත්වය අනුව ඔහු ඒ අවස්ථාවේදීත් ප්‍රකාශ කරලා තියෙනවා පපුව රිදෙනවායි කියලා. මියගිහිල්ලා තියෙනවා. කෙසේවෙතත් අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. අපට ඒකෙන් පස්සෙ තමයි හේතුව ප්‍රකාශ කරන්න පුළුවන්. 
 
ඔහු බියගම ප්‍රදේශයේ සේවය කරපු දක්ෂ පොලිස් නිලධාරියෙක්. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතිං අපි ඒ සම්බන්ධව අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වලා ඒ මරණයට හේතුව අනාවරණය කරන්න පුළුවන් වෙනවා. කෙසේවෙතත් අපේ රාජකාරි අපි අඩුවක් වෙන්නෙ නැතිවෙන්න පොලිස් නිලධාරීන් යොදවලා ඉෂ්ඨ කරනු ලබනවා" යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 
 

නව අදහස දක්වන්න