යහපාලනයෙන් නීතිය නැමුණු හැටි | දිනමිණ

යහපාලනයෙන් නීතිය නැමුණු හැටි

රටේ දේශපාලනයට හා රාජ්‍ය සේවයට අදාළ වැදගත් හා තීරණාත්මක නඩු-තීන්දුවක් අභියාචනාධිකරණය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. මේ තීන්දුව ඓතිහාසික එකක් වන අතර, අනාගතයේදී දේශපාලනයට හා රාජ්‍ය සේවයට අවශ්‍ය පාර කියා දෙන මාර්ගෝපදේශනයක් ලෙස ද පවතින්නේය. දේශපාලන පළිගැනීම් පිළිබඳ තොණ්ඩුවට රාජ්‍ය සේවකයා හසුකර ගැනීම නීතියෙන් අනුමත කළ නොහැකි බව ද මෙයින් සනාථ වෙයි. දේශපාලකයන්ගෙන් පළිගැනීම සඳහා රාජ්‍ය සේවකයා බිල්ලට ගැනීම කැත පුරුද්දකි. එය ආරම්භ කළේ යහපාලන ආණ්ඩුවේ නායකයන්ය. එම නායකයන් තමන්ගේ කූටෝපායන් ගැන ලජ්ජා විය යුතුය.

මේ නඩුව ප්‍රසිද්ධියට පත් වන්නේ සිල් රෙදි නඩුව ලෙසය. වැඩිහිටි ප්‍රජාවකට සිල් සමාදන් වීම සඳහා නොමිලේ සිල් රෙදි බෙදා දීම නඩුවට පාදක විය. චූදිතයන් බවට පත්ව සිටියේ සිල් රෙදි වැඩසටහනට සම්බන්ධ වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා එවකට විදුලි සන්දේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වූ අනුෂ පැල්පිටය. මේ දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. ඔවුහු පාලකයන්ගේ උපදේශන පිළිගැනීමට මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමට ද බැඳී සිටිති. අතීතයේදීත් එය එසේම සිදු වූ අතර, වර්තමානයේදී හා අනාගතයේදී ද එය එසේම සිදු වනු ඇත. රාජ්‍ය සේවය ඇත්තේ පාලකයන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමටය. එය කිසිවකුටත් වෙනස් කළ නොහැකිය.

සිල් රෙදි වැඩසටහන ක්‍රියාත්මක වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශනයකට අනුවය. ජනාධිපතිවරයාට නඩු පැවරීම කළ නොහැකි බැවින් රාජ්‍ය නිලධාරීන් ඊට ගොදුරු කරගෙන තිබේ. එහිලා ඉදිරිපත් කර ඇති චෝදනා වන්නේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා රාජ්‍ය මුදල් වංචා කිරීමය. එවැන්නක් සිදු වූ බව සාධාරණ සැකයකින් තොරව සනාථ වී නැතැයි අභියාචනාධිකරණයේ නඩු තීන්දුවෙහි සඳහන් වී ඇත. ඒ අනුව චූදිතයන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කර තිබේ. තීන්දුවෙන් පසු රාජ්‍ය සේවයේ පැවැති භීතිකාවක් ඉවත් වූයේ යැයි සිතන්නට පුළුවන. ඒ මහජන සුබ සාධනය සඳහා ක්‍රියාත්මක වීමට නිලධාරීන් තුළ පැවැති බිය හා සැකයයි.

මීට පෙර පැවැති මහාධිකරණ නඩු විභාගයෙන් චූදිතයන් වරදකරුවන් කර තිබිණි. එහි නඩු තීන්දුවට අනුව වසර දෙකක සිරදඬුවම් ද එක් චූදිතයකු ලක්ෂ පන්සියය බැගින් වූ දඩ මුදලකට ද යටත් කර තිබිණි. නඩුව අභියාචනාධිකරණය වෙත යොමු කිරීමට තීන්දු කිරීම බුද්ධිමත් තීරණයකි. දේශපාලනයට අදාළ නඩුවලට දේශපාලකයන්ගෙන් සිදු වන බලපෑම ගැන විවිධ කතාන්දර තිබේ. ඉහත නඩුවටත් එයම සිදු වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. මෙය කෙතරම් දුෂ්ට පළිගැනීමක් ද යත්, එක් චූදිතයකු ලක්ෂ පන්සියයක දඩ මුදලක් ගෙවිය යුතු වීම කෙතරම් සාහසික ද? රාජ්‍ය සේවකයකු රුපියල් ලක්ෂ පන්සියයක් ගෙවා දමන්නේ කෙසේ ද?

මහාධිකරණ තීන්දුවෙන් පසු රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඇද වැටීම අනිවාර්ය වේ. රාජ්‍ය සේවකයා තුළ විශාල කළකිරීමක් ද මන්දෝත්සාහි තත්ත්වයක් ද ඇති කරන්නට ඉහත සිද්ධිය සමත් වෙයි. රාජ්‍ය සේවය නැතිව රටක් ඉදිරියට ගෙන යෑම අපහසුය. එලෙසම දේශපාලකයා හා නිලධාරියා අතර හොඳ සම්බන්ධයක් වැටහීමක් හා විශ්වාසයක් ද පැවැතිය යුතුය. ඒ සියල්ල නඩු පැවරීම ඔස්සේ විකෘති විය. රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් තීන්දු-තීරණ ගැනීම ප්‍රමාද කරන්නට ද පටන්ගෙන තිබිණි. දේශපාලකයා හා රාජ්‍ය නිලධාරියා අතර විශ්වාසය බිඳී යෑම නිසා තවත් අවුල් ගණනාවක් ද නිර්මාණය වී තිබිණි. එය නොසිදුවිය යුත්තකි.

සිල් රෙදි නඩුව පමණක් නොව, නිලධාරීන් හොරුන් ලෙස හංවඩු ගහන තවත් නඩු විභාග හා පරීක්ෂණ ගණනාවක් තිබිණි. ඒ සියල්ල ගොනු වී තිබුණේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයට හිතවත්ව කාර්යක්ෂම මහජන සේවාවක නිරත වූ නිලධාරීන් වෙතය. ඇතැම් නිලධාරීන්ගේ දෑතට මාංචු දමා ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගෙන ගියේ සාහසික අපරාධකාරයන් හැටියටය. යහපාලන නායකයන්ගේ ඉලක්කය වන්නට ඇත්තේ රාජපක්ෂ දේශපාලනයට හිතකර රාජ්‍ය සේවය මුළුමනින්ම පරාජය කිරීම විය හැකිය. රණවිරුවන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයේ තැබීම සිදු වූයේ ද එලෙසමය. නිලධාරීන් භීතියට පත් කොට බිත්තියට හේත්තු කිරීම යහපාලන ආණ්ඩුව නිමාවට පත් වන තෙක්ම පැවැතිණි.

අභියාචනාධිකරණ නඩු තීන්දුව ඔස්සේ ඉහත රාජ්‍ය නිලධාරීන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර ඇති නමුදු ඊට පෙර නඩු තීන්දුවේදී මෙන්ම පරීක්ෂණවලදී ද අත්අඩංගුවට ගැනීමේදී ද එම නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට වූ අගතිය ගැන ද මෙහිදී අවධානය යොමු කළ යුතුය. මේ දෙදෙනාම රාජ්‍ය සේවයේ කීර්තිමත් නිලධාරීහු වෙති. ඔවුන් ගොඩනඟාගෙන තිබූ පෞරුෂය හා කීර්තිය මුළුමනින්ම විනාශ වන අයුරින් නීතිය ක්‍රියාත්මක වී තිබිණි. එය නීතියක් ද, අවනීතියක් ද යහපාලන නීතියක් ද යන්න වෙනම තීරණය කළ යුතුය. එතෙක් ඉහත නිලධාරීන් සඳහා වන්දියක් දීම යුක්ති සහගත යැයි අපට සිතේ.

මේ සිදුවීම් මාලාව ඔස්සේ පැහැදිලි වන්නේ යහපාලනය ඔස්සේ නීතිය දෙකට-තුනට නැමී කැඩී යන ආකාරයයි. නීතිය නැමෙන රටක වාසය කිරීමත් භයානකය.

නව අදහස දක්වන්න