රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක් | දිනමිණ

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

 
 
බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය යොමු වී තිඛේ.
 
බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටළු සහ ක්‍රියාකාරීත්වය පිළිබදවත්, කොවිඩ් 19 හේතුවෙන් බන්ධනාගාරවල පවතින වත්මන් තත්වය සහ ඒ සදහා ගෙනඇති ක්‍රියාමාර්ග පිළිබදවත් සාකච්ඡා කිරීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග අද (23) පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයාගේ අවධානය යොමුවිය. 
 
රිමාන්ඩ් රැදවියන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබදවත්, හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kgට අඩු වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතවී සිටින 6334කගේ නඩු කටයුතු කඩිනම් කිරීම කෙරෙහි අවධානය යොමුකල අධිකරණ අමාත්‍යවරයා සදහන් කර සිටියේ බන්ධනාගාරගත වන රිමාන්ඩ් රැදවියන්ගෙන් වැඩිපිරිසක් නැවත නැවත බන්ධනාගාරගත වන අයවලුන්වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ සදහා විශේෂ මූලෝපායික සැලසුමක් සකස්කල යුතු බවයි. 
 
බන්ධනාගාරවල උද්ගතවී ඇති කොවිඩ් 19 තත්වය පිළිබදවද අවධානය යොමුකල අධිකරණ අමාත්‍යවරයා රිමාන්ඩ් සිරකරුවන් බන්ධනාගාරගත කිරීමේදී සහ බන්ධනාගාරයෙන් නිදහස්ව යාමේදී විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීම සදහා මෙන්ම දරුවන් සහිත කාන්තා රැදවියන් 12 දෙනෙකු විශේෂ රැදවුම් ස්ථානවලට යොමුකිරීම කෙරෙහිද අවධානය යොමුකරන ලදි. 
 
අධිකරණ අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන හා පාලන චන්දන ඒකනායක, බන්ධනාගාර රාජ්‍ය ඇමතිතුමියගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන උදාර තීක්ෂණ සිල්වා, හරිත සොයිසා සහ බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගීවූහ. 
 
 
 
 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න