ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන්ගෙන් හෙළිදරව්වක් | දිනමිණ

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන්ගෙන් හෙළිදරව්වක්

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන්ගෙන් හෙළිදරව්වක්
කොරෝනා දෙවැනි රැල්ල පිළිබඳ කතාබහ ආරම්භවන කාලයේදී ම මතු වූ එක් කරුණක් වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකාරිත්වය විසින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද කාර්යමණ්ඩල සාමාජිකයන් හේතුවෙන් මෙම රැල්ල ඇති වූ බවය. එම කාර්යමණ්ඩල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී බ්‍රැන්ඩික්ස් සමාගම රජයට බලපෑම් කර නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කළ බවට ද චෝදනා එල්ල විය. අවස්ථා තුනකදී, විශේෂ ගුවන්යානා තුනකින් මෙරටට ගෙන්වා ගත් මේ පිරිස පිළිබඳ සමාජයේ විශේෂ කතාබහක් ඇති වී තිබෙන නිසාම අපි ඔවුන් කිහිප දෙනෙකු සමග සම්බන්ධ වෙමින් මේ පිළිබඳ ඔවුන්ගේ අදහස් විමසා සිටියෙමු.

ඒ අනුව අප පළමුව සම්බන්ධ කර ගත්තේ බ්‍රැන්ඩික්ස් සමාගමේ ඉන්දියානු කර්මාන්ත පුරයේ සිට මෙරටට පැමිණි සමන් ඒකනායක මහතාය. "මම වසර දොළහකට අධික කාලයක් ඉන්දියාවේ සේවය කරනවා. මගේ දරුවා ඉතාම පුංචියි. ඉන්දියාවේ තත්ත්වය එන්න-එන්නම නරක අතට පත්වෙනකොට මට මුලින් ම බියක් ඇති වුණේ දරුවා ගැන. එනිසයි මම සමාගමට කතා කරලා අපව හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නයි ඉල්ලීමක් කළේ." ඒකනායක මහතා සඳහන් කරයි.

සමන් ඒකනායක මහතා

සමන් ඒකනායක

ඔහු තම අත්දැකීම තවදුරටත් මෙලෙස විස්තර කළේය. "මගේ දරුවා ඉතාම පුංචි නිසා ගුවන් යානය තුළදී පවා අනෙක් මගීන් ඈත් කර තැබීමට පවා එම කාර්යමණ්ඩල සාමාජිකයන් කටයුතු කළා. නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටි මේජර් අබේසේකර මහතා අප ගැන විශේෂ අවධානයක් ලබා දෙමින් දරුවන්ට අවශ්‍ය පරිදි ආහාර ලබා දීමට පවා ඉදිරිපත් වුණා. ස්වයං නිරෝධායන කටයුතු අවසන් වූ පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.කේ. සූරියාරච්චි මහතා අත්සන යොදලා සහතිකයක් ලබා දුන්නා."

මේ කාලය තුළ සමාගමෙන් කිසියම් සහයෝගයක් ලැබුණේ ද යන අප නැගූ පැනයට පිළිතුරු ලබා දෙමින් ඒකනායක මහතා සඳහන් කළේ, මෙවැනි අභියෝගාත්මක තත්වයකදී පවා අප මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ම ප්‍රමාණවත් බවය. ඊට අමතරව, සමාගම තමන් පිළිබඳව සේම තම පවුලේ සාමාජිකයන් පිළිබඳවත් නිතර සොයා-බලා අවශ්‍ය සහයෝගය ලබා දුන් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අප මීළඟට සම්බන්ධ කර ගත්තේ ඉන්දියාවේ සිට පැමිණි දෙවැනි ගුවන්යානයෙන් පැමිණි සේනක ඒකනායක මහතාය. ඔහු ඉන්දියාවේ කර්මාන්තශාලාවේ ප්‍රමිති සහ පාරිභෝගික සේවා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරයි. ඔහු පළ කරන්නේ මෙවන් අදහසකි.

"ඉන්දියාවේ ඉන්න අතරෙදි තාත්තා අසනීප වුණා. තාත්තා බලාගන්න හිටියේ මම විතරයි. එනිසයි මම සමාගමෙන් ඉල්ලීමක් කළේ හැකි ඉක්මනින් මාව ලංකාවට ගෙන්වා ගන්න කියලා. කොහොම වුණත් ලංකාවට ගොඩබැහැපු ගමන් ගෙදර යන්න ලැබුනේ නෑ. මුලින්ම යුදහමුදාව බාරේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන ගියා. එතැනදී යුද හමුදාවෙන් හැකි උපරිමයෙන් අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. ඉන් පස්සේ, ස්වයං නිරෝධායනයට යොමු වුණා. තාත්තා අසනීප තත්ත්වයෙන් ඉන්නා නිසා මම ගෙදර නොගිහින්, වෙනත් ගෙදරක තනිවම ඒ කාලය ගතකරන්න තීරණය කළා. මම ඉන්නේ තනිවම බව දන්නා නිසා සමාගමෙන් නිතරම කතා කරලා ඕනෑ-එපාකම් සොයා බැලුවා."

සේනක ඒකනායක

සේනක ඒකනායක

ස්වයං නිරෝධානයනයවන කාලය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කළා ද යන පැනයට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ, පළමු දිනයේ පටන් ම ඔවුන් සමග සම්බන්ධීකරණය කළ බවත්, නිරෝධායනය අවසන් වූ පසුව එම සහතික ද ලබා දීමට ඔවුන් කටයුතු කළ බවත්ය. ඔහු අවසාන වශයෙන් මෙසේ ද සඳහන් කළේය.

"මම දින 28 කට පසුව සියලු නිරෝධායන කටයුතු අවසන් කරලා ගෙදර යනකොට තාත්තාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම නරක අතට හැරිලයි තිබුණේ. මම ගෙදර ගිහින් දින කීපයක් තුළ තාත්තා නැති වුණා. අවසන් මොහොතේ හරි මට තාත්තා ළඟ ඉන්න ලැබීම විශාල භාග්‍යයක් කියලා හිතනවා. මම පවුලේ එකම ළමයා නිසා ඒ මොහොතේ මම ගෙදර නොහිටියා නම් මළගෙදර කටයුතු ටිකවත් කරගන්න කෙනෙක් නැතුව යනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය එම සියලු වියදම් දරා මා ලංකාවට ගෙන්වා ගැනීමට ඒ මොහොතේ කටයුතු නොකළා නම්, තාත්තා අන්තිම හුස්ම හෙළන මොහොතේදී මට තාත්තාව දැකගන්නවත් ලැබෙන්නේ නෑ."

රෝහණ මල්ලවාරච්චි යනු බ්‍රැන්ඩික්ස් ඉන්දියානු කර්මාන්තශාලාවේ ජ්‍යෙෂ්ඨ විධායක පරිපාලන නිලධාරියෙකු ලෙස වසර 4 කට අධික කාලයක් සේවයකර ජුනි මාසයේදී 25 වනදා පළමු ගුවන් යානයෙන් මෙරටට පැමිණි අයෙකි. ඔහු පවසන ආකාරයට ඔහු ඇතුළු 168 දෙනෙකු එම ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇත. තමන් මෙරට ගුවන් තොටුපොළට පැමිණි වහාම යුදහමුදා නිලධාරීන් විසින් PCR පරීක්ෂණ සිදුකර අංක කර තිබූ බස් රථවලට නංවාගෙන ඇත.

රෝහණ මල්ලවාරච්චි

රෝහණ මල්ලවාරච්චි

"බ්ලූ වෝටර්ස් හෝටලයේ ආයතනික නිරෝධානයට ලක්වෙමින් සිටින අතරතුර යළිත් වරක් PCR පරීක්ෂණ සිදු කළා. එමගින් ලැබුණු ප්‍රතිඵල මත යම් කෙනෙක් පොසිටිව් නම්, වහාම ඒ අයව හෝටලයේ සිට IDH රෝහලට ගෙන යාමට කටයුතු කළා. එහිදී අප සුවවීමෙන් පසුවයි ස්වයං නිරෝධායනයට ලක් කළේ. නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කරලා ස්වයං නිරෝධායනය සඳහා නිවෙසට ආවාම පොලිසිය දින දෙකකට වරක් පැමිණ සොයා බැලුවා. පළමු දවසේ ම රජයේ වෛද්‍ය නිලධාරීතුමා පැමිණ උපදෙස් ලබා දුන්නා. ඉන්පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාත් නිතරම දුරකථනයෙන් සොයා බැලුවා. නිරෝධායනය අවසන් වූ වහාම අපට ඒ බව සහතික කරමින් සහතිකයක් ද ලබා දුන්නා." ඔහු සඳහන් කරයි.

මේ අනුව ඉන්දියාවේ සිට පැමිණි පිරිස නිසි නිරෝධායන පිළිවෙත් අනුගමනය කළ බවක් පෙනී යයි. නමුත් ගැටලුව ඇත්තේ, මෙය ඉන්දියාවේ සිට පැමිණි පිරිසගෙන් ව්‍යාප්ත වූ බවට මතයක් ගොඩනැගීමට අවශ්‍ය වූයේ කාටද යන්නය. ඉන්දියාවේ සිට පැමිණි කිසිඳු ගුවන් යානයකින් කිසිඳු ඉන්දීය ජාතිකයෙකු තමන් සමග නොපැමිණි බව ද මේ පිරිස අවධාරණය කරති. මේ බව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද මාධ්‍ය හමුවේ සනාථ කර සිටියේය. එසේනම්, ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු නිරෝධායන පිළිවෙත් අනුගමනය කළේ නම් සහ ඔවුන් සමග කිසිඳු ඉන්දීය ජාතිකයෙකු මෙරටට නොපැමිණියේ නම් මේ වෛරසය හටගැනීමට හේතුව කුමක්ද යන්න තවදුරටත් අභිරහසකි. මේ පිළිබඳ රහස් පොලීසිය විමර්ශනයක් සිදුකරන බැවින්, එහි ප්‍රතිඵල එනතුරු අපට වඩාත් සෝදිසියෙන් බලා සිටීමට සිදුවන්නේ එනිසාය.

- කේ.වී.එච්. පෙරේරා-

නව අදහස දක්වන්න