‘ස්පුට්නික් 5’ එන්නත සාර්ථක ද? | දිනමිණ

‘ස්පුට්නික් 5’ එන්නත සාර්ථක ද?

රුසියාවේ අපේක්ෂාව මෙම එන්නත ඇ. ඩොලර් 20ට වඩා අඩු මුදලකට ලබාගත හැකි පරිදි ජාත්‍යන්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමය. එමෙන්ම මේ එන්නත රුසියානුවන් සඳහා ලබාදෙන්නේ නොමිලේය. වෙනත් තරඟකාරී එන්නත්වලට වඩා කැපී පෙනෙන අඩු මුදලකට එය දීමට හැකිවනු ඇති බව එරට වත්කම් අරමුදලේ (RDIF) ප්‍රධානියා පවසා ඇත. රෝගීන් 18794ක් යොදාගනිමින් කළ පර්යේෂණයේ පළමු වටයේදී, එනම් දින 28කට පසු එය 91.4% සාර්ථකත්වයක් ද දෙවැනි වටයේදී එය 95% සාර්ථකත්වයක් පෙන්වා තිබේ. එනම්, දින 42කට පසු ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රා සෙනෙකා එක්ව වැඩිදියුණු කරන එන්නත හඳුන්වාදීමෙන් වසංගත සමයේ ලාබ ඉපැයීමට අපේක්ෂා නොකරන බවය.

ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදනයට ලක් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 60 ඉක්මවා තිබේ. ඉන් තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මිලියන 20කට අධිකය. වයිරසය විසින් ගොදුරු කරගත් ජීවිත සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවා ඇත. කොවිඩ් 19ට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් පිළිබඳ ලෝකයම අපේක්ෂා දල්වා සිටියදී, එම පර්යේෂණ යම් යම් මට්ටම්වලින් සාර්ථක වෙමින් ඇති බව වාර්තා සුබ පණිවිඩයකි.

වැඩි ප්‍රතිඵල සහිත මෙන්ම අතුරු බලපෑම් අවම එන්නතක් හඳුන්වා දීම ඉක්මන් වන තරමට ලොවපුරා කොවිඩ් - 19 ට ගොදුරු වී අහිමි වන ජීවිත සංඛ්‍යාව වළක්වා ගැනීමට පුළුවන. අවම වශයෙන් වයිරසය ආසාදනය වුව ද එම බලපෑම් මාරාන්තික නොවන්නේ නම් එය පවා විශාල සිහිනයකි.

එහෙත් දැනට අනුගමනය කෙරෙමින් ඇත්තේ වයිරසය ආසාදනය වීමෙන් වැළැකී සිටීම සඳහා යා හැකි උපරිම ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම යම් හෙයකින් ආසාදනයට ලක් වුව හොත් ඇතිවිය හැකි සංකූලතාවන්ට ප්‍රතිකාර කරමින් සුවපත් කිරීමය.

 

නවතම පර්යේෂණ

චීනය, අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය ආදී රටවල් ගණනාවක එන්නතක් හඳුන්වා දීම සඳහා වන පර්යේෂණ පැවැත්වේ. ඉන් ඇතැම් එන්නත් ඇත්තේ සායනික මට්ටමේ පරීක්ෂණ අදියරේය. දැනටමත් එම පර්යේෂණ සිදු කෙරෙන රටවලින් සහ වෙනත් රටවලින් කල්තබාම ඒවාට ඉල්ලුම් ලැබී තිබේ. ධනවත් රටවලට පමණක් මෙම එන්නත් ලැබීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ද යම් කෝටාවක් දීමට කටයුතු කරමින් සිටී. ඒ COVAX සැලස්ම යටතේය.

දින කිහිපයකට පෙර රුසියාවෙන් වාර්තා වූයේ සිය ‘ස්පුට්නික් - 5’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් යොදාගනිමින් කළ පර්යේෂණවල ප්‍රතිඵල එන්නත ලබාදී දින 42කට පසු නිකුත් කෙරිණි. රුසියාව මේ ප්‍රතිඵල නිකුත් කළේ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව කරන පර්යේෂණ ඔස්සේ ඉදිරිපත් කරන එන්නත 70%ක් සාර්ථකවී ඇති බව ප්‍රකාශයට පත්වී දිනකට පසුවය.

නව කො‍රෝනා වසංගතයට එරෙහිව කරන සටනේදී තීරණාත්මක අවියක් ලෙස භාවිත කළ හැකි පරිදි ‘ස්පුට්නික් - 5’ බලාපොරොත්තු දල්වා ඇති බව රුසියා සෞඛ්‍ය ඇමැති මිහායිල් මුරාෂ්කෝ පවසා සිටියි.

රුසියාවේ අපේක්ෂාව මෙම එන්නත ඇ. ඩොලර් 20ට වඩා අඩු මුදලකට ලබාගත හැකි පරිදි ජාත්‍යන්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමය. එමෙන්ම මේ එන්නත රුසියානුවන් සඳහා ලබාදෙන්නේ නොමිලේය. වෙනත් තරඟකාරී එන්නත්වලට වඩා කැපී පෙනෙන අඩු මුදලකට එය දීමට හැකිවනු ඇති බව එරට වත්කම් අරමුදලේ (RDIF) ප්‍රධානියා පවසා ඇත. රෝගීන් 18794ක් යොදාගනිමින් කළ පර්යේෂණයේ පළමු වටයේදී, එනම් දින 28කට පසු එය 91.4% සාර්ථකත්වයක් ද දෙවැනි වටයේදී එය 95% සාර්ථකත්වයක් පෙන්වා තිබේ. එනම්, දින 42කට පසු ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රා සෙනෙකා එක්ව වැඩිදියුණු කරන එන්නත හඳුන්වාදීමෙන් වසංගත සමයේ ලාබ ඉපැයීමට අපේක්ෂා නොකරන බවය. ඔවුන් පවසන පරිදි දැනටමත් ලැබී ඇති ඇනවුම් හා අන්තර්ජාතික සෞඛ්‍ය සංවිධාන සමඟ එකඟ වී ඇති පරිදි එන්නතක මිල ඇ. ඩො. 2.50 ක් පමණ වනු ඇති බවය. රුසියාව මෙම එන්නත ස්පුට්නික් - 5 යනුවෙන් නම් කළේ සීතල යුද සමයේ අභ්‍යවකාශ තරඟයේ යෙදෙමින් ගුවනට යැවූ එම නමින් යුතු චන්ද්‍රිකාව සිහිගන්වමිනි.

 

අත්හදා බැලීම්

ස්පුට්නික් - 5 තුන්වැනි අදියරේ පර්යේෂණවලදී බරපතළ අතුරු ආබාධ කිසිවක් පෙන්නුම් කර නැති බව RIDF පවසයි. එය ලබාදුන් ඇතැම් පුද්ගලයන්ට පමණක් කෙටිකාලීනව සුළු බලපෑම් ඇතිවී තිබිණි.

ඔක්ස්ෆර්ඩ් සරසවිය හා Astra Zeneca එක්ව හඳුන්වා දෙන එන්නත 90%ක් පමණ සාර්ථක වනු ඇතැයි පැවසේ. මාත්‍රා 2කින් ලබාගත යුතු එය මේ වන විට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000 කට අධික පිරිසකට ලබාදී තිබේ. පර්යේෂණ තවමත් ක්‍රියාත්මකය. වයෝවෘද්ධ පිරිස් අතර ශක්තිමත් ප්‍රතිශක්තියක් ඇති කිරීමට එයට හැකිවී ඇති බව පෙනී ගොස් ඇත. Pfizer – BioNtech එන්නත පිළිබඳ පළමුවරට නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව, එය 90% ක පමණ සාර්ථකත්වයක් පෙන්වයි. මෙම එන්නත ද 43000ක් පමණ පිරිසක් යොදාගනිමින් එම අත්හදා බැලීම් කර තිබේ.

Moderna එන්නත ද 94.5% ක පමණ ආරක්ෂාවක් සැලසීමට සමත් බව සමාගම පවසා තිබේ. 30,000ක පමණ පිරිසක් යොදා ගනිමින් එය අත්හදා බලා ඇත.

මේ හැරුණු විට, තවත් එන්නත් ගණනාවක්ම පර්යේෂණාත්මකව අත්හදා බැලෙමින් පවතී. චීනයේ වූහාන් ජෛව විද්‍යාත්මක නිෂ්පාදන ආයතනය හා Sinopharm එන්නත් ද අවසන් අත්හදා බැලීම් අදියරේ පවතී.

මෙවැනි එන්නත් මාත්‍රා මිලියන ගණනින් දැනටමත් ඇනවුම් කිරීමට ධනවත් රටවල් ක්‍රියා කර තිබේ. එන්නත් හඳුන්වාදීමෙන් පසු ඒවා පළමුව ලබාදෙන්නේ කාහට ද යන්න ගැන ඒ ඒ රටවල සම්මතයන් තිබේ. කොවිඩ් - 19 එන්නත එම අවදානමට මුහුණදෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට හා වයිරසයෙන් වැඩි බලපෑම් එල්ලවන වයෝවෘද්ධ ජනතාවට පළමුව ලබාදීම බොහෝ විට සිදු වනු ඇත. එක්සත් රාජධානියේ එම ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් සිටින්නේ රෝහල් කාර්යමණ්ඩල හා වැඩිහිටි නිවාසවල රැකවරණය ලබන ජ්‍යේෂ්ඨ පුරවැසියන් හා ඒවායේ කාර්යමණ්ඩලය.

එන්නත් හඳුන්වාදීමෙන් පසු ඒවා විශේෂිත තත්ත්ව යටතේ ගබඩා කිරීම ද අවශ්‍යවේ. ඇතැම් විට සෙල්සියස් ඍණ 70 ක් වැනි උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර, ඇතැම් විට ශීතකරණයක ගබඩා කළ හැකිය.

 

අතුරු ආබාධ අවදානම

එන්නත් ලොව පුරා ප්‍රවාහනය කිරීමට ද වි‍ෙශ්ෂ වැඩපිළිවෙළ තිබේ. ගෝලීය වශයෙන් විශාල සැපයුමක් සිදු කිරීමට ඇති බැවින් ඒ සියල්ල ද සැලසුම් කළ යුතුවේ.

කොවිඩ් - 19 ගෝලීය වසංගතයක් බැවින් එය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට නම්, ලෝක ජනගහනයෙන් 60% - 70% කට පමණ ප්‍රතිශක්තිකරණ එන්නත් සපයාදිය යුතුව ඇත. එනම්, බිලියන සංඛ්‍යාත ජනගහනයකට ඒවා සැපයිය යුතුවේ.

ප්‍රමුඛ පෙළේ ඉන්දීය වෛද්‍ය විද්‍යාඥයකු වන වෛද්‍ය ගගන්දීප් කාන්ග්, පසුගියදා ‘දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, ආසන්න දෙසතියක පමණ කාලය තුළ කොවිඩ් - 19 ට එරෙහි එන්නතක් හඳුන්වාදීම සඳහා සිදු කරන පර්යේෂණවලින් ලත් ප්‍රතිඵල දිරිගන්වන සුළු ඒවා බවය. කෙසේ වුවද ඖෂධ සමාගම් මඟින් ප්‍රකාශයට පත් කරන දත්ත තවදුරටත් පූර්ණ වශයෙන් විශ්ලේෂණය කළ යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ. වෛද්‍ය ගගන්දීප් පවසන පරිදි, ඉන්දියාව වැනි රටකට එක් මාත්‍රාවකින් සපයාගත හැකි එන්නතක් නම් වඩාත් සුදුසුය. එමෙන්ම එය ජීවිත කාලයටම ආරක්ෂාව සලසන එන්නතක් නම් තමා වඩාත් කැමැති බව ඔහු පවසයි. ‍එසේම ඉහළ මිලක් දැරීමට සිදු වන එන්නතක් භාවිතය ද ප්‍රායෝගිකව අපහසු වීමට ඉඩ තිබේ.

බොහෝ තත්ත්ව සැලකිල්ලට ගන්නා විට ඉදිරි මාස 3 – 5 ත් අතර කාලය තුළ කොවිඩ් මර්දන එන්නත් භාවිතයට එක්වීම සිදු විය හැකිය. ඉන්දියාව ලබන වර්ෂය මුල සිට ආරම්භ කරන වැඩසටහන යටතේ මෙම එන්නත් ලබාදුන් පසු ඒවායේ අතුරු බලපෑම් පිළිබඳ ද සැලකිල්ලට ගත යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබිණි. ඔහු පෙන්වා දී ඇත්තේ, ඕන නම් කොවිඩ් එන්නතක් යම් පිරිසකට අතුරු ආබාධ ඇති කිරීමට හැකියාව ඇති බවයි. මේ තත්ත්වය අදාළවන්නේ මෙම එන්නත් සඳහා පමණක් ද නොවේ. ඔක්ස්ෆර්ඩ් Astra zeneca එන්නත ලබන වසර මුල පටන් ඉන්දියාවේ දියත් කරනු ඇතැයි වාර්තාවීමත් සමඟ අගමැතිවරයා මේ අදහස් පළ කර තිබිණි. මේ වන විට ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවන්නේ ඉන්දියාවෙනි.

 

එන්නත ලබන වසරේදී

යම් හෙයකින් මෙහිදී ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් වගකීමට සිදු වන්නේ කාටද වැනි ප්‍රශ්න ද මෙහිදී අදාළ වේ. අගමැති මෝදි පවසන පරිදි, වේගය මෙන්ම ආරක්ෂිත බව ද මෙහිදී එකහා සමානව වැදගත්ය. වසර විසිගණනක් තිස්සේ භාවිත කරන ඖෂධ නිසා ද ඇතැම් විට ඇතැම් පුද්ගලයන්ට අතුරු බලපෑම් ඇතිවිය හැකි බව ඔහු පවසා ඇත. මේ තත්ත්වය එන්නත් සම්බන්ධයෙන් ද අදාළ වේ. ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට මිලියන 9 ඉක්මවා තිබේ. වැඩිම ආසාදිතයන් වාර්තා වන මෙන්ම වැඩිම මරණ වාර්තා වූ අමෙරිකාවේ, ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම වසංගත රෝග විශේෂඥයකු ද වන වෛද්‍ය ඇන්තනී ෆෝසි, MSNBC වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ, ඉහළ ප්‍රමුඛතාවයකින් යුතුව කොවිඩ් එන්නත් ලබාදිය යුතු අය වෙත එය දෙසැම්බරයේදී පමණ ලබාදිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවය. වෛද්‍ය ෆෝසි පවසන පරිදි ලබන වසරේ අප්‍රේල්, මැයි පමණ වන විට අමෙරිකාවේ මෙම එන්නත් ලබාදීමට හැකිවනු ඇත.

 

G-20 අවධානය

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෙව් පසුගියදා ප්‍රකාශ කළේ; තම රටේ ජනතාව වෙනුවෙන් ද කොවිඩ් එන්නත ලබාදීම ගැන අපේක්ෂාවෙන් පසුවන බවය. කෙසේ වුව ද, එවැනි එන්නතක් නිෂ්පාදනය කිරීමට තම රටට පහසුකම් නැති බව කියා සිටි ඔහු අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය වැනි රටවල් එහි යෙදී සිටින බව පෙන්වා දුන්නේය. අමෙරිකානු ඖෂධ සමාගම්, තමන් නිෂ්පාදනය කරන එන්නතක් පළමුව රට තුළ බෙදාහරිනු ඇතැයි ද එය අන්තර්ජාතිකව බෙදාහරිනු ඇත්තේ ඉන් පසුව බව ද අගමැති ටෘඩෙව් පවසා තිබිණි. කැනඩාව ද 2021 මුල් මාස කිහිපය තුළ නව එන්නතක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඔහු කියා තිබේ. හඳුන්වාදෙනු ලබන එන්නතක් නිදහසේ බෙදාහැරීම පිළිබඳ ජී - 20 සමුළුවේදී ද පසුගියදා අවධානයට ලක් කෙරිණි. ඒ වෙනුවෙන් සෙසු සාමාජික රටවල් සමඟ තමන් එක්ව ක්‍රියාකරන බව ද ඔහු පවසයි. මෙම ගෝලීය අභියෝගය ජය ගැනීමේදී සෑම රටකටම මෙම එන්නත් ලැබීමේ අවශ්‍යතාව ඉන් ගම්‍යවේ.

මෙවැනි එන්නතක් සොයා ගැනීම හා එය භාවිතය සඳහා හඳුන්වා දීම යනු වසර ගණනාවක් ගතවන ක්‍රියාවලියකි. එසේ වුව ද මෙම වසංගත තත්ත්වයේ ස්වභාවය අනුව එය හැකිතාක් ඉක්මනින් සිදු විය යුත්තක් බව පිළිගැනීමට සිදු වේ. එබැවින්; දැනට සිදු වන පර්යේෂණ පිළිබඳ ලෝකයටම ඇත්තේ සුබවාදී අපේක්ෂාවකි.

 

ධම්මික

සෙනෙවිරත්න

නව අදහස දක්වන්න