පළාත් සභා මැතිවරණය කල් තැබීමට තිරණය කර තිබෙනවා - වෙළෙඳ ඇමැති | දිනමිණ

පළාත් සභා මැතිවරණය කල් තැබීමට තිරණය කර තිබෙනවා - වෙළෙඳ ඇමැති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට තිරණය කළ බව වෙළෙඳ අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ඊයේ (30) පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

එහි දී අැමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

2020 වර්ෂය කියන්නේ ඉතිහාසයේ කවදාවත් නැති තරමට කරදර වුණු වසරක්. ඒක කොවිඩ් 19 නිසා ඇති වූවක් මිස වෙන දෙයක් නිසා ඇති වූවක් නොවේ. මේක මහා ව්‍යසනයක්. මේක ලෝක ව්‍යසනයක්. දෙවැනි ලෝක යුද්ධයටත් වඩා විශාල ව්‍යවසනයක්. මේක අවුරුද්දකින් දෙකකින් ඉවර වෙයි කියල කියන්න බැහැ. ඉතාම දරුණුයි. දැනටත් අවුරුද්දක්‍ ගෙවිලා. මෙහි බලපෑම සියලුම අංශ වලට දැනෙනවා. දෙවැනි ලෝක ‍යුද්දෙට අපිට කිසිම සම්බන්ධයක් නොතිබුණත් අපිට බඩගින්නේ ඉන්න වුණා. හේතුව ප්‍රධාන රටවල් යුද්දෙට මැදි වුණාම අපි වගේ දුප්පත් රටවල් ඒ හරහා පීඩනයට ලක්වන නිසා. බජරි අශ්වයන්ට ඒ කාලේ දෙන කොල්ලු වගේ ආහාරක් . ඒ තමයි අපට අනුභව කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති බජරි හටන කියල නාට්‍යයකුත් ඒ කාලේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කොවිඩ් වසංගතය නිසා ඊටත් එහා ගිය පීඩනයකට හැම රටක් ම පත්වෙලා තියෙනවා. ලෝකේ බලවත් ආර්ථික යෝධයෝ ලෙස සැලකෙන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, ඉන්දියාව, චීනය වැනි රටවල් කඩාවැටිලා පීඩනයට පත් වෙලා තියෙනවා. මේ අභියෝගයට මුහුණ දෙන්න අපි හැමෝටම සිද්ධ වෙලා තියෙනවා. දිනපතා දහස් ගණන් මිනිස්සු මැරෙනවා. කිසිම රටක ස්ථාවරයක් පවත්වා ගන්න බැහැ. හේතුව ලෝකයේ ආර්ථිකය පවතින්නේ නිෂ්පාදනය, පාරිභෝජනය සහ හුවමාරුව කියන අංශ තුන පදනම් කර ගෙන. නමුත් මේ සියල්ල කඩා ගෙන වැටිල ඉවරයි. සියලුම කර්මාන්ත ශාලා වැසීගෙන යනවා. ඒව‍ගේම ඒ ආයතන තුළ රැකියාව කළ දහදහස් සංඛ්‍යාත ජනතාවගේ රැකියා අහිමි වෙමින් පවතිනවා. උදාහරණයක් විදියට කිව්වොත් ගුවන් නියමුවෝ මේ වෙන කොට තම රැකියා අහිමි වීම හේතුවෙන් පෙට්‍රල් ෂෙඩ්වල තෙල් ගසන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ වගේම නැව්වලට බඩු බා ගන්න පටවන්න විදියක් නැතිව තියෙනවා. දැනට චීනය විතරක් මද වශයෙන් තම ආර්ථිකය පවත්වා ගෙන යනව. ඒ හැරෙන්න ලෝකයේ කිසිම රටකට මේ වෙන කොට ආර්ථිකය යම් මට්ටමින්වත් රඳා පවත්වා ගන්න බැරි වෙලා තියෙනවා. එහෙම ගත්තම ලංකාවට විතරක් මේක වෙච්ච දෙයක් නොවේ. නමුත් විපක්ෂය හිතන් ඉන්නේ මේ ව්‍යවසනය වුණේ ලංකාවට විතරයි කියල. ඒ නිසා ඔවුන් මාධ්‍ය හමු පවත්වමින් උද්ඝෝෂණ පවත්වමින් විවිධාකාරයෙන් ආණ්ඩුවට මඩ ව්‍යාපාර දියත් කරනවා. ඒවායේ මූලික අරමුණ සහනාධාර දීම් සහ වෙනත් දේශපාලනික අරමුණු. ඒවා මේ මොහොතේ කරන්න අමාරුයි කියල විපක්ෂය තේරුම් ගන්නේ නෑ. ඒ ගැන මම පොතක් ලියල පහදා දීලා තියෙනවා. කෘෂිකර්මයේ විනාශ වීම් සේවාවල කඩාවැටීම් සහ කර්මාන්තවල බිඳ වැටීම් මම ලියල තියෙනවා. ඒවාට දැනට පවතින විපක්ෂය එවකට පැවති යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවත් මම ඔප්පු කරල තියෙනවා. ඔවුන් කරපු විනාශයේ ප්‍රතිඵලත් මේ කොවිඩ් එක්කම අපිට විඳින්න වෙලා තියෙනවා. නමුත් ඔවුන් ඒ පිළිබඳ කතා බහ කරන්නේ නැහැ. මම ආරාධනා කරනවා විපක්ෂ නායකවරයා ඇතුළු එම පක්ෂයේ ඕනෑම මන්ත්‍රීවරයකුට යහපාලන ආණ්ඩුවෙන් රටට සිදු වුණු විපත ගැන සංවාදයක් එන්න කියලා. ඒක ඔවුන් කියන ඕනෑම තැනකදී කරන්න මම සූදානම්. මේ රටේ අවුරුදු 5ක් විනාශ කරල එක අවුරුද්දක් තුළ ගොඩගන්න කියනවා නම් ඒක බැරි වැඩක්. මොක ද මේ ගොල්ලෝ මහ දවල් මහ බැංකුව කඩල මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙන්න බෝම්බ ගහල සංචාරක ව්‍යාපාරය වට්ටලා දැන් අපෙන් අහනව කෝ රටේ සංවර්ධනය කියල. නමුත් ඔවුන්ගේ යහපාලන ආණ්ඩුවේ කිසිවක් සිදු නොවීම හේතුවෙන් තමයි 69 ලක්ෂයක් ඡන්දය ලබාදීල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කළේ. ඒ අනුව තමයි සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අපි සිදු කර ගෙන යන්නේ. නමුත් මේ මාර්තු සිට පැමිණි කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ දැක්ම ඉදිරියට ගෙන යන්න බාධා පැමිණියා. නමුත් අපිට මෙම රෝගය පැතිර යෑම වෙනත් රටවලට සාපේක්ෂව පාලනය කරගත හැකි මට්ටමක පවතිනවා. මන්ද ලෝකයට සාපේක්ෂව අපේ රටේ මරණ අනුපාතය 1%කටත් වඩා අඩු අගයක් ගන්නවා. නමුත් ජීවත් වීමේ ප්‍රමාණය 99%ටත් වඩා වැඩියෙන් තිබෙනවා. 1%ට වඩා අඩු අගය පාලනය කර ගැනීම ජනතාවට මිසක් ආණ්ඩුවට පුළුවන් දෙයක් නොවේ. රටේ ආර්ථිකය පහල යන්න හේතුවක් වුණේ විදේශ විනිමය නොලැබීම සහ විදේශ රැකියාවල අඩුවීම සංචාරක ක්ෂේත්‍රය හැකිලීම වැනි කාරණා. ඒ වගේම තමයි ආනයනය අපනයනය කියන වෙළෙඳාම් ඇණ හිටීම. එම නිසා විපක්ෂය මේ ආණ්ඩුවට විරුද්ධව නගන බොරු චෝදනා ජනතාව පිළිගන්නේ නෑ. රට ගොඩනැඟීම සඳහා ජනතාව මේ වෙන කොටත් ආණ්ඩුව පිළිබඳ විශ්වාසය අත්හැරලත් නැහැ. ‍මේ ළඟදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කරනව, මහජන බැංකුවෙන් නිකුත් කළ ණය වර ලිපියක් ප්‍රතික්ෂේප වුණා කියල. එහෙම කිසිම තැනක වෙලා නැහැ කියල මම වගකීමෙන් කියනව. මොකද ඒ පිළිබඳ මම පුළුල් අධ්‍යයනයක් කළා. නමුත් මේ කියන බොරු නිසා මහජන බැංකුව සම්බන්ධව මහජනතාවට තිබෙන විශ්වාසය පලුදු වෙන්න පුළුවන්. ඒ හරහා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති විය හැකියි.

එහි දී මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් පළාත් සභා මැතිවරණය ඉදිරියේ පැවැත්වීමට සූදානමක් තිබෙනවාද යනුවෙන් කළ වීමසීමකදී සඳහන් කළේ,ඒ පිළිබඳ අපි කථා කළා. ඒකට සහභාගී වුණේ ජනාධිපති සහ සියලුම පක්ෂවල නියෝජිතයෝ. එහිදී තීන්දුවක් ගත්තා පවතින වසංගත තත්ත්වයත් එක්ක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව. එම නිසා සියල්ලගේම අදහස් මත පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දමන්න තීරණයක් ගත්තා.

සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා -

අපි දැන් දරුණු ආර්ථික කඩා වැටීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ මේ කොවිඩ් වසංගතය හින්දා. නමුත් කොවිඩ් මර්දනය කිරීමේදී අපි අනෙක් රටවල්වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. හේතුව අපේ මරණ සංඛ්‍යාව 0.5%ක පවතින හින්දා. ඒ නිසා වෙනත් රටවලට සාපේක්ෂව අපේ සෞඛ්‍ය මට්ටම ඉතාමත් හොඳයි. අනික තමයි අපි එන්නත් ගේනවද නැද්ද කියල මේ දවස්වල කතා කරනවා. තව අවුරුදු 7කටවත් සාර්ථක එන්නතක් හොයා ගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙලා ජීවත් වෙන එක. මොකද මේ වෙන කොට කිසිම රටකට බැරි වෙලා තියෙනවා හරියටම සාර්ථක බෙහෙතක් මේ වයිරසය සඳහා හොයා ගන්න.

නුවන් හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න