‘ෂෙයාර් මාර්කට්’ | දිනමිණ

‘ෂෙයාර් මාර්කට්’

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මෙබඳු වර්ධනීය අවස්ථාවක් මීට පෙර සටහන් වූයේ 2011 වසරේදී බව ද සඳහන්ය. පවතින වර්ධනීය තත්ත්වයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව දෙවන තැනට පත්ව සිටී. සාර්ථක හා සක්‍රීය කොටස් වෙළෙඳපොළ යනු සමස්ත ආර්ථිකය පිළිබඳ කිසියම් දර්ශකයකි. රටක ආර්ථික වර්ධනය හා දේශපාලන ස්ථාවරත්වය එයින් පෙන්නුම් කෙරේ. කොටස් වෙළෙඳපොළක වර්ධනය යනු දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ සහභාගිත්වයේ වැඩිවීමකි. ව්‍යාපාරවල දියුණුවක් ද ඉතිරි කිරීම්වල වර්ධනයක් ද මේ මඟින් අපේක්ෂා කළ හැකිය. කොවිඩ් තත්ත්වය තුළ මෙබඳු වර්ධනයක් පෙන්නුම් කිරීම බෙහෙවින් සුබදායකය.

රටක දේශපාලනය පිළිබඳ අවිනිශ්චිත අවස්ථාවලදී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පහළ බසී. සෑම මැතිවරණයක් ආසන්නයේ දීම එම තත්ත්වය දැක ගත හැකිය. එහෙත් මැතිවරණ ජයග්‍රහණයකින් පසු බිහි වන නව ආණ්ඩු සමඟ කොටස් වෙළෙඳපොළ යළි වර්ධනය වෙයි. එහෙත් එහි ගනුදෙනුවල ඉහළ යෑම සිදු වන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය මතය. ව්‍යාපාරවලට හිතකර ආර්ථික ප්‍රතිපත්ති යටතේ ආයෝජකයෝ කොටස් වෙළෙඳපොළට ආකර්ෂණය වෙති. අහිතකර ආර්ථික ප්‍රතිපත්ති යටතේ තැන්පත්කරුවෝ සිය තැන්පතු ආපසු ගනිති. මෙය කොටස් වෙළෙඳපොළක පොදු ලක්ෂණය ලෙස පවතී. කොවිඩ් වසංගතය යටතේ ලොව බො‍හෝ රටවල කොටස් වෙළෙඳපොළ දුර්වල වෙමින් පවතී.

ගිය වසරේ මාර්තුවෙන් පසු සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර මෙන්ම කර්මාන්ත රැසක් අර්බුදයට ගියේය. ආයතන එක්කෝ වසා දැමිය යුතුය. නැතහොත් පාඩුපිට පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා ද ආයතන සතුව විශාල වත්කම් තිබිය යුතුය. ප්‍රධාන ගැටලුව සේවකයන් ඉවත් නොකර ආයතන පවත්වා ගැනීමය. රජයේ ප්‍රතිපත්තිය වූයේ කොවිඩ් හේතුසාධක කරගෙන සේවකයන් ඉවත් කිරීම වැළැක්වීමය. අනෙක් අතට නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය කිරීමය. මේ අනුව ව්‍යාපාරික ණය සහන ගණනාවක් ක්‍රියාත්මක කළේය. සංචාරක කර්මාන්තය පවා බිඳ වැටෙන්නට ඉඩ නොදී පවත්වා ගැනීමට රජය උත්සාහ කළේය. අද වන විට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ යම් පිබිදීමක් දකින්නට ලැබේ. එය කොටස් වෙළෙඳපොළ ඔස්සේ ද ප්‍රදර්ශනය වීම වැදගත්ය.

ආර්ථිකයේ අහිතකර තත්ත්වයන් මතු කරවනසුලු ඉඟි පළ වන්නේ නම්; කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට ආයෝජකයන් පෙලැඹෙන්නේ නැත. ගිය වසරේ මුල් කාර්තුව තුළ ආර්ථිකය පසුබෑමකට ලක්වී තිබුණ ද මධ්‍යම හා අවසන් කාර්තු තුළ ආර්ථිකය යම් පිබිදීමකට ලක්වී ඇත. එය කෘෂිකර්මය, කර්මාන්ත යන අංශ දෙකෙහිම දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් විය. ධාන්‍ය වගාව 256%කින් වර්ධනය වී තිබේ. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය 20.6% කින් වර්ධනය වී ඇත. රබර් කර්මාන්තයේ 11.5%ක් ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර දකුණු ආසියාවේ විශාලම ටයර් කම්හල පසුගියදා හොරණ දී විවෘත විය. ඍණ ආර්ථිකය පැවැති රට යළිත් සිය ආර්ථිකය ස්ථාවර කර ගනිමින් සිටී. එය ආයෝජකයන්ගේ විශ්වාසය දියුණු කරන කාරණයක් වී ඇත. රටක සමස්ත ආර්ථික තත්ත්වයන් කෙරෙහි ආයෝජකයන්ගේ අවධානය යොමු වෙයි.

කොටස් වෙළෙඳපොළ ව්‍යාපාර පිළිබඳ වෙළෙඳපොළක් හැටියට හඳුන්වනු ලැබේ. එහි ප්‍රධාන කාර්යයන් දෙකක් ඇත. පළමුවන්න ණය හා ප්‍රාග්ධන හිමිකම් ගැනීම සඳහා මූලික වෙළෙඳපොළක් හසුරවමින් ආයතනවලට සහයෝගය දැක්වීමය. ප්‍රාග්ධන සම්පාදනය දියුණු කිරීමටත්, සම්පත් වඩාත් ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යෙදවීමටත් මේ මඟින් අවස්ථාව ලැබේ. දෙවන්න ආයතනවල කොටස් සහිත වෙළෙඳපොළ හසුරවමින් ආයෝජකයන්ට හා තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ දීමට ක්‍රියා කිරීමය. කොටස් වෙළෙඳපොළ ඔස්සේ ව්‍යාපාර පිළිබඳ නව තොරතුරු ආයෝජකයන් වෙත ගලා එයි. එය ඉතිරි කරන්නන්ට වාසිදායකය. කොටස් වෙළෙඳපොළ පිළිබඳ නීතිරීතිවලට අනුව ව්‍යාපාර පිළිබඳ තොරතුරු සැඟවීමට ඉඩක් නැත.

කොටස් වෙළෙඳපොළ විධිමත් හැසිරීමකින් යුතුව ව්‍යාප්ත වන්නේ 1984 සිටය. එවක රජය ගෙන ගිය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා පෞද්ගලිකකරණ වැඩසටහන ද ඊට ශක්තිමත් පදනමක් ඇති කළේය. ඊට පෙර සමාග‍ම් කොටස් ගනුදෙනු පිළිබඳ වගකීම් දරන්නේ තැරැව්කරුවන්ගේ සංගමයයි. පසුව එය කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය ලෙස ප්‍රකට විය. කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ආරම්භ වන්නේ 1894දීය. එය කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය බවට පරිවර්තනය වන්නේ 1904 දීය. ව්‍යාපාරික කොට‍ස් පිළිබඳ අපේ ගනුදෙනුවලට වසර එකසිය විසි හතක් පමණ ගෙවී ඇත. එහෙත් කොටස් වෙළෙඳපොළ පිළිබඳ නිසි වැටහීමක් සාමාන්‍ය ජනතාවට නැත. එය වර්ධනය කිරීමෙන් කොටස් වෙළෙඳපොළ තවදුරටත් ශක්තිමත් කළ හැකිය.

1990 ගණන්වල ද කොටස් වෙළෙඳපොළෙහි වර්ධනීය තත්ත්වයක් දැකගන්නට ලැබිණි. 1991 සිට කොළඹ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. 1993 වන විට ඊට ලෝක කොටස් වෙළෙඳපොළ පිළිබඳ තත්ත්වයන්ට අනුව දස වන ස්ථානය ද දකුණු ආසියාවේ පළමු ස්ථානය ලැබී තිබිණි. කොටස් වෙළෙඳපොළක ශීඝ්‍ර වර්ධනය අතිගාමී තත්ත්වයකට පත් වුව හොත් එය අහිතකර ප්‍රතිඵල ඇති කරන්නට හේතුවක් විය හැකිය. මෙහිදී සිදු විය යුත්තේ වෙනත් උපාය මාර්ග ඔස්සේ එම තත්ත්වය පාලනය කිරීමය. අතිගාමී තත්ත්වයන් තුළ ආ‍යෝජකයන්ගේ විශ්වාසය රැක ගැනීම සිදු විය යුත්තකි. එසේ නොවුණ හොත් ආයෝජකයන් සිය තැන්පතු ඉවත් කර ගැනීමට ඉඩ තිබේ.

පෙරේදා වාර්තාවලට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වර්ධනය 188%කට වැඩිය. මෙය හොඳ තත්ත්වයකි. එහෙත් එහි අවදානමක් ද ඇත. විය යුත්තේ එම අවදානම ඉවත් කර ගැනීමට ක්‍රියා කිරීමය.

නව අදහස දක්වන්න