මේ සැම එක් වී වැඩ කළ යුතු කාලයක් | දිනමිණ

මේ සැම එක් වී වැඩ කළ යුතු කාලයක්

සෞඛ්‍ය ගැටලු ගැන වගකීම කාගේදැයි දේශපාලන පිටියේදී වාද කරමු

එජාප නායක රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂය මුහුණ දුන් පසුබෑම ඉදිරියට යෑමට අවස්ථාවක් කර ගනිමින් පක්ෂය නැවතත් ශක්තිමත් කිරීම නව නිලධාරී මණ්ඩලයට භාර දෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවෙන් පිටත ද හඬක් නැඟීම අවශ්‍ය බව අවධාරණය කළ ඒ මහතා, එක්සත් ජාතික පක්ෂය එය සිදු කරන බව ද කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ඊයේ (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති චාම් උත්සවයට සහභාගී වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ ද කීය.

"අද නව නිලධාරී මණ්ඩලය වැඩ භාර ගන්න අවස්ථාව. පක්ෂයේ අනාගත වැඩපිළිවෙළ මෙම නිලධාරී මණ්ඩලයට භාර දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විශාල පසුබෑමකට ලක් වුණා. ඒ පසුබෑම ඉදිරියට යන්න අවස්ථාවක් කරගෙන පක්ෂය නැවතත් ශක්තිමත් කිරීම සඳහා සංවිධානය කිරීම නව නිලධාරී මණ්ඩයට භාර වෙනවා. ඒ සැලැස්ම සකස් කළ පසු අප මාධ්‍ය වෙත දැනුම් දෙනවා. මෙම පෙබරවාරි මාසයේ දී අලුත් වැඩසටහනක් තුළින් පක්ෂයෙන් ඈත් වූ පාක්ෂිකයන්, අලුතින් එක් වූ පාක්ෂිකයන් මෙන්ම වෙනත් පක්ෂවලට ඡන්දය දුන් අයවත් බඳවා ගැනීම සඳහා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ සියලුම වැඩකටයුතු අලුත් නිලධාරී මණ්ඩලයට භාර දී තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් පිට ද හඬක් නැඟීම අවශ්‍ය වෙනවා. ඒ හඬ නැඟීම එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරනු ලැබිය යුතු වෙනවා. එහි වගකීම ද අලුත් නිලධාරීන්ට භාරයි.

"ඒ සමඟම අපේ මූලික ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් අලුත් දැක්මක්, අලුත් ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් වැඩපිළිවෙළ සකස් කිරීම අලුත් මුහුණුවලට භාරයි. අලුත් දැක්ම සකස් කිරීමේ දී අද රටේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂාවයි. ඒ සම්බන්ධයෙන් දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් කරුණු කියා තිබෙනවා. සමහර ඒවා සත්‍ය වුණා. දේශපාලනය ගැන කතා කරන ගමන් අපේ වගකීම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා කටයුතු කිරීමයි. කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීමට පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීම අපේ යුතුකමක්. කොවිඩ් - 19 පාලනය කිරිම සඳහා තවමත් අප රටේ සැලැස්මක් ඉදිරිපත් කර නැහැ. එන්නත මාර්තු මස ගේනවා, අප්‍රේල් මස ගේනවා කියා මාධ්‍ය මඟින් කියන කරුණු නිසා ජනතාව මුලා වෙනවා.

එන්නත ගෙනෙන්නේ කුමන රටෙන්ද කියා කිසිවෙක් ප්‍රශ්න කරනවද? කුමන රට සමඟ ඒ සඳහා ගිවිසුම් අත්සන් කරනවද? කොවැක්ස් සංවිධානය සමඟ ගිවිසුම් ගත වුණාද? කොවැක්ස් සමඟ ගිවිසුම් ගත වන බව සෞඛ්‍ය ඇමැතිනිය පසුගිය නොවැම්බර් මස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මේ අවුරුද්දට සැපයීම සඳහා ඩොලර් මිලියන 25,000ක් අවශ්‍යයි. කොවැක්ස් සංවිධානයේ ඉන් තුනෙන් එකක්වත් තිබෙනවා යැයි මා සිතන්නේ නැහැ. එන්නත පළමු වටයේ ලැබෙන්නේ සියයට තුනක් පමණයි. දෙවැනි වටයේ සියයට දාහතක් ලැබෙනවා. අපි වාසනාවන්ත නම් මේ අවුරුද්ද අවසානයේ ලැබේවි. එන්නත දී අවසන් කරන්න අවුරුදු තුනක් ගත වන බව සමහරු කියනවා. ඇත්ත තත්ත්වය රටට කියන්න. එන්නත ලැබෙන තුරු අප පරිස්සම් විය යුතුයි. මේ අවුරුද්දේ හැමෝටම එන්නත දිය යැකි යැයි බලාපොරොත්තු දෙන්න එපා. කිසිම රටක එය සිදු වන්නේ නැහැ. එන්නත ගැනත් ප්‍රශ්න තිබෙනවා. ඒවා ගැන හරියටම කිව හැක්කේ තව අවුරුදු දෙක තුනක් ගිය පසුයි. එන්නත ලබා ගත් පසු කිහිප දෙනෙක් මියගොස් තිබුණා. එන්නත සම්බන්ධයෙන් වගකීම සෞඛ්‍ය නිලධාරීන්ට භාර දෙන්න. මුලින් ඇති කර ගත් ඉලක්කයට වැඩ කටයුතු කළ නොහැකි බව එක්සත් රාජධානිය පවසා තිබෙනවා. එන්නත ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කළා දැයි ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි.

"මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආණ්ඩුවෙන් ප්‍රශ්න නොකිරීම ගැන පුදුමයි. ප්‍රධානම ප්‍රශ්නය විමසා නැහැ. මෙසේ කීම ගැන මාධ්‍යයෙන් මට හෙට බනියි. ප්‍රශ්නයක් නැහැ. මට බනින්නේ නැති දවසක් නැහැනේ. නමුත් රට වෙනුවෙන් මේ කරුණු කිව යුතුයි. ආණ්ඩුවට ලබා ගන්න බැරි වුණා නම් ඒ ගැන වෙනම වාද කරමු. නමුත් මේ කාලසීමාවේ දී අප සියල්ලම එකට එක් වී වැඩ කරමු. වගකීම කාගේදැයි අප දේශපාලන පිටියේ දී වාද කරමු. අපේ ප්‍රධාන වගකීම සෞඛ්‍ය ආරක්ෂාවයි. මාධ්‍ය මඟින් හෝ වෙනත් අංශවලින් බැන්නත් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය පෙරමුණේ සිටිය යුතුයි."

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න