ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් රට පුරා ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනයට | දිනමිණ

ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් රට පුරා ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනයට

ප්‍රින්ස් ගුණසේකර

 වෙන් කළ මුදල මිලියන 250යි

ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ රට පුරා පාසල් 12ක ක්‍රීඩා පිටි සංවර්ධනයට පියවර ගැනෙයි. මේ සංවර්ධන කටයුතු සඳහා රජය රුපියල් මිලියන 250 මුදලක් වෙන් කර ඇති බව බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

දික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ විදුහල, අනුරාධපුර මධ්‍ය මහ විදුහල, පොළොන්නරුව රාජකීය විදුහල, ගාල්ල සංඝමිත්තා විදුහල, අම්පාර ඩී.එස්. සේනානායක විදුහල, ත්‍රිකුණාමලය සාන්ත ජෝෂප් විදුහල, යාපනය මධ්‍ය මහ විදුහල, ගම්පහ හේනේගම මධ්‍ය මහ විදුහල, මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුග්ගන් මහා විදුහල හා රත්මලාන හින්දු විදුහල යන ක්‍රීඩා පාසල් මේ යටතේ සංවර්ධනය වේ.

මේ විදුහල්වල ක්‍රීඩා පිටි සංවර්ධනය, ක්‍රීඩා මණ්ඩප අලුත් වැඩියාව, නේවාසිකාගාර අලුත් වැඩියාව හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සිදු කෙරේ. මේ වැඩසටහනේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 82ක වියදමින් ක්‍රීඩා පාසල් 5ක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒවා සියල්ල ලබන මාසයේදී අවසන් කිරීමට නියමිතය.

මේ අතර, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය, නව ක්‍රීඩා පාසල් ආරම්භ කිරීම, ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් වූ ඇමැති මණ්ඩල සංදේශය අනුව ක්‍රීඩා පාසල් 26ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේ සිදු කෙරේ. එමෙන්ම සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පරිශ්‍රයේ ‘ක්‍රිකට් ක්‍රීඩා පාසල’ යනුවෙන් ද්වි භාෂා නව ජාතික පාසලක් ආරම්භ කර සංවර්ධනය කිරීම, පැලවත්ත නවෝද්‍යා පාසල මලල ක්‍රීඩා හා වොලිබෝල් ක්‍රීඩා පාසලක් ලෙස සංවර්ධනය කිරීම, පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල මලල ක්‍රීඩා පාසලක් බවට පරිවර්තනය කිරීම, මන්නාරම මුරුන්කන් මහා විදුහල පාපන්දු හා මලල ක්‍රීඩා සඳහා අලුතින් සංවර්ධනය කිරීම මේ වසරේ සිදු කෙරේ. දැනට නේවාසිකාගාර නැති ක්‍රීඩා පාසල්වල අලුතින් නේවාසිකාර ඉදිකිරීම හා පවතින නේවාසිකාගාර සංවර්ධනය කිරීම, ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම ද ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාව අනුව සිදු වේ.

 

නව අදහස දක්වන්න