ක්‍රීඩාවේ බලාපොරොත්තුව එකමුතුවයි | දිනමිණ

ක්‍රීඩාවේ බලාපොරොත්තුව එකමුතුවයි

අකුරැස්ස මධ්‍යම විශේෂ - විජිත සල්ගාදු

ක්‍රීඩාවෙන් අප බලාපොරොත්තු වන්නේ සමාජයේ අපි සියලු දෙනා එකමුතු වී එකට මුහුණ දෙමින් එකම ජාතියක්, ගමක්, ප්‍රදේශයක් හැටියට කටයුතු කිරීම බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කණ්ඩායම් හැඟීම යනු එය බවත්, එලෙස ක්‍රීඩා කරනවා මෙන් සමාජයේ ගැවසෙමින් සමාජමය යුතුකමක් ඉටු කළ යුතු යැයි ද ඒ මහතා කියා සිටියේ අකුරැස්ස, බළකාවලදී පැවැති අකුරැස්ස ප්‍රිමියර් ලීග් (APL) දිවා රාත්‍රී මහා ක්‍රිකට් තරගාවලියට එක් වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේද කීය. “අද වෙනකොට අපේ රටේ ප්‍රශ්ණ ගොඩක් තියෙනවා. රටේ අවිනිශ්චිත තත්ත්වයක් තිබියදී මේ ක්‍රිකට් තරගාවලිය සංවිධාන කිරීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. කොරෝනා වසංගතය මුළු ලෝකයම ගිලගෙන තිබියදී ඒකට මුහුණ දෙමින්, ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින් ඔබ ක්‍රීඩා කරනවා. ඒවගේම සෞඛ්‍ය අංශවල නීතිරීතිවලට ගරු කරමින් ක්‍රීඩා කරල අපි සියලු දෙනාටම ආදර්ශයක් දෙනවා මේ වසංගතය තිබුණත් අපේ රටේ කටයුතු නොනවත්වා කර ගෙන යන බවට.” යැයි ද කියා සිටියේය.

මේ ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වූ අතර, අකුරැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉසුරු පල්ලියගුරු, අජිත් මල්ලවාරච්චි, ළහිරු දෙසොහොයුරන් තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දී තිබිණි.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අකුරැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉසුරුමල් පල්ලියගුරු මහතා අතින් සිදු කෙරිණි.

නව අදහස දක්වන්න