මානව හිමිකම් | දිනමිණ

මානව හිමිකම්

කිසිදු අන්තර්ජාතික සංවිධානයකට රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ අයිතියක් නැත. එම සංවිධාන උපදේශන සපයන්නේ නම්, ඒවා ජාතියක ප්‍රගමනයට අදාළ දේවල් විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වුව එහිම මානව හිමිකම් කොමිසමට වුව රටවලට නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැත. එම සංවිධාන ඇත්තේ ලෝක සාමය, සංහිඳියාව හා සාමූහිකත්වය ඇති කිරීම සඳහාය. එය පසෙකලා ජාතික හා ආගමික ගැටුම් ඇතිවීමට තුඩුදෙන උපදේශන සපයන සංවිධානයක් ඇතොත් එම සංවිධානය ප්‍රතික්ෂේප කළ යුතුය. ඒ සඳහා රාජ්‍ය නායකයන්ට කොන්දක් තිබිය යුතුය. අන්තර්ජාතික සංවිධාන ඉදිරියේ දණින් වැටෙන නායකයන්ගෙන් රටකට සෙතක් නැත. 2015 දී අප ඒ කනගාටුදායක අත්දැකීමට මුහුණ දුන් අතර, ඉන් ඇති වූ අවුල විසඳා ගැනීමට වත්මන් රජයට සිදු විය.

ජිනීවා මානව හිමිකම් කොමිසමට අයත් විශේෂඥ කණ්ඩායමක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඉල්ලීමක් යැයි කියූව ද එය බලපෑමක් සේ සැලකීම නිවැරැදිය. එහි සඳහන් වන්නේ කොවිඩ් ආසාදිතයන්ගේ මරණ ආදාහනය කිරීමට තීරණය කිරීමෙන් සුළු ජන කොට්ඨාසයක මානව හිමිකම් උල්ලංඝනය වන බව හා ඒ මගින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවය. එම කරුණු සැලකිල්ලට ගෙන අවශ්‍ය ජන කණ්ඩාම්වලට භූමදානය සඳහා ඉඩ දෙන්නැ’යි ඊනියා විශේෂඥයෝ ඉල්ලා සිටිති. මේ අය මානවහිමිකම් සඳහා විශේෂඥයන් විය හැකිය. එහෙත් වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥයන් විය නොහැකිය. කො‍රෝනා මරණ ආදාහනය කරන්නේ වෛද්‍ය උපදේශනය එය බැවිනි. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සිදු වන්නේ ද නිරෝධායන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ ද රටේ ඇතැම් පළාත්වලට සංචරණ සීමා පනවන්නේ ද වෛද්‍ය උපදේශනවලට අනුවය.

කොවිඩ් 19 වයිරසය ජාති, ආගම්, කුල, පන්ති ආදිය තෝරා බේරා ව්‍යාප්ත වන්නේ නැත. වයිරසය ඕනෑම තැනැත්තකු කරා වහා පැතිර යයි. මෘත දේහ මගින් ද වයිරසය පැතිර යෑමේ අවදානමක් තිබේ. මෙබඳු භයානක වයිරසයක් සමඟ විහිළු කිරීම සුදුසු නැත. ආසාදිතයකු මරණයට පත්ව ඔහු හෝ ඇය හෝ මිහිදන් කළ පසු වයිරසය පසට මිශ්‍ර වීමට ඇති ඉඩකඩ වැඩිය. පසෙන් භූගත ජලයට වයිරසය කාන්දු වීමට පුළුවන. ජලය ඔස්සේ යළිත් සමාජය වෙත වයිරසය සම්ප්‍රේෂණය වීමට පුළුවන. ලෝක වසංගතවලදී මෙබඳු තත්ත්වයන් මතු වී ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සියලු මරණ ආදාහනය වෙත යොමු කිරීම වඩා විද්‍යාත්මක ක්‍රමය වෙයි. ආගමික විශ්වාසයක් නිසා එම විද්‍යාත්මක ක්‍රමය බැහැර කරන්නේ නම්, එය දියුණු ලෝකයට ගැළපෙන අනුවණ ක්‍රියාවකි.

කොවිඩ් මරණ ආදාහනයට යොමු කිරීම රජයේ හිතුවක්කාරී තීරණයක් නොවේ. වෛද්‍ය උපදේශනය මත ආදාහන ක්‍රියාවලිය ආරම්භ කළ රජය පසුව එක්තරා ජන කණ්ඩායමකගේ ඉල්ලීම මත භූමදානයට අදාළ කරුණු ගවේෂණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළේය. එම කමිටුව විවිධ විෂයයන් සම්බන්ධයෙන් විශේෂඥ භාවයක් උසුලන තැනැත්තන්ගෙන් සමන්විත විය. දීර්ඝ හැදෑරීමකින් පසු කමිටුවේ නිර්දේශ ලැබිණි. එහි සඳහන් වූයේ වෛද්‍ය නිර්දේශය නිවැරැදි බව හා කොවිඩ් මරණ භූමදානය කිරීමෙන් වයිරසය පැතිර යෑමට අවකාශයක් ඇති බවය. තවත් පිරිසක් භූමදානය සම්බන්ධයෙන් අධිකරණ‍ෙය් පිහිට පැතූහ. එහිදී අධිකරණයේ නිර්දේශය වූයේ වෛද්‍ය මතයට අනුව කොවිඩ් මරණ සම්බන්ධයෙන් තීන්දු - තීරණ ගත යුතු බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනය වන්නේ ද ආදාහන ක්‍රමය වඩාත් සුදුසු බවය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය සිංහල බෞද්ධයෝය. බෞද්ධයකු මියගිය විට සිදු කරන ආගමික චාරිත්‍ර ගණනාවක් තිබේ. එහෙත් කොවිඩ් මරණයක් සිදු වූ විට ඒ එක චාරිත්‍රයක්වත් සිදු වන්නේ නැත. මෘත දේහයට ළං වන්නේ ද නැත. හැකි විගස දේහය ආදාහනය කිරීමට බෞද්ධයෝ ඉඩ දෙති. එය ආගම හෝ ජාතිය හෝ හෑල්ලු කිරීමක් නොවේ. යුද්ධයකදී මිය යන පුද්ගලයන්ගේ ආගමික චාරිත්‍ර ඉටු කිරීමට අවකාශ ලැබෙන්නේ නැත. ලෝක වසංගතයකදී ද එබඳු තත්ත්වයක් මතු වේ. බුද්ධිමත් සමාජය එය වටහා ගත යුතුය. යුරෝපය පුරා කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිරගි‍ෙය් වයිරසයට වඩා පුද්ගල නිදහස ගැන එම රටවල ආණ්ඩු කල්පනා කළ බැවිනි. දැන් එම රටවල නායකයෝ ස්වකීය වැරැදි නිවැරැදි කර ගනිමින් සිටිති. නෙදර්ලන්තය රට පුරා රාත්‍රී ඇඳිරිනීතිය පනවා ඇත. එංගලන්තය තෝරාගත් ප්‍රදේශ වසා දමන්නට තීරණය කර ඇත. කොවිඩ් වසංගතය තුළ වඩා වැදගත් වන්නේ රෝග පාලනය මිස පුද්ගල නිදහස නොවේ.

මානවහිමිකම් සංවිධානවල බලපෑම නිසා ලෝක ත්‍රස්තවාදය හා අන්තවාදය වර්ධනය වන්නේ යැයි කිවහොත් ඊට අදාළ සාක්ෂි ඕනෑතරම් සපයා ගත හැකිය. ශ්‍රී ලංකාවේ දෙමළ විමුක්ති කොටි බෙදුම්වාදී යුද්ධයක් කරා තල්ලු වීමට අවශ්‍ය දේශපාලන පසුබිම මානව හිමිකම් සංවිධාන විසින් සකස් කර දෙන ලදි. රජයේ ආරක්ෂක හමුදාවල මානුෂීය මෙහෙයුම් විවේචනයට ලක්කළ මානවහිමිකම් සංවිධාන කොටි සංවිධානයේ අමානුෂික ඝාතන ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ආරක්ෂක ප්‍රධානීන්ට දිගින් දිගටම චෝදනා එල්ල කළේය. අදටත් එය කෙළවර වී නැත. අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට රැකවරණ සලසන ප්‍රතිපත්තියක් මානවහිමිකම් සංවිධාන අනුගමනය කරයි. ඒ අනුව අන්තවාදී සංවිධානවල පැමිණිලි බාරගෙන ඒ අනුව ක්‍රියාකරන්නට එම සංවිධාන උත්සුක වෙයි.

මානව හිමිකම් සංවිධාන වන්නි මානුෂීය මෙහෙයුමේ සිටි උසස් නිලධාරීන්ගේ තොරතුරු සොයන්නටත් ඔවුන්ගේ විදේශ ගමන් ආදියට බාධා කරන්නටත් පටන්ගෙන තිබේ. වන්නි මානුෂීය මෙහෙයුම යනු උතුරේ දෙමළ ජනතාව ත්‍රස්තවාදි ග්‍රහණයෙන් මුදාගත් ක්‍රියාන්විතයකි. කොටි ග්‍රහ‍ණයේ සිටි ලක්ෂ ගණනක අහිංසක ජනතාව සිය ජීවිත රැකගත්තේ රජයේ හමුදාව නිසාය. “අපි බේරගන්න!” යැයි උතුරේ දෙමළ ජනතාව හමුදාවෙන් ඉල්ලා සිටියහ. කුඩා දරුවන් හා මහලු කාන්තාවන් දෑතින් ඔසවාගෙන යමින් එදා ඔවුන්ට රැකවරණය දුන්නෝ සෙබළුන් මිස කොටි කැරලිකරුවෝ නොවූහ. රජයේ ආරක්ෂක අංශවල මානුෂීය ක්‍රියාවලිය, මානව හිමිකම් සංවිධානවල අවධානයට යොමු වූයේ නැත. එය කිසි දිනෙක සිදු වන්නේ ද නැත. මේ සංවිධාන පවතින්නේ බලවත් රටවල අනුග්‍රහය මතය. බලවත් රටවල දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට ත්‍රස්තවාදය, අන්තවාදය හා සිවිල් යුද්ධ අවශ්‍ය වේ.

මානව හිමිකම් සංවිධානවලට හොඳ උත්තරයක් ජනාධිපතිවරයා විසින් දී තිබේ. එනම්: මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් පුළුල් ගවේෂණයක් සිදු කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමය. එම කමිටුව සෑම ක්ෂේත්‍රයකම මානවහිමිකම් ගැන පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය. අපේ මානවහිමිකම් ගැන අපට වගකීමක් ඇති බව ඉන් තහවුරු වෙයි. ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ දණින් වැටුණු යහපාලන ආණ්ඩුවේ නායකයෝ කොමිසමේ නිර්දේශවලටත් එහා යමින් අන්තවාදයට උඩගෙඩි දුන්හ. ජනාධිපතිවරයා එය නවතා දමා අලුත් ප්‍රවේශයකින් මානව හිමිකම් නිරීක්ෂණය කරන්නට පටන්ගෙන තිබේ. අමෙරිකාව පවා එය නිවැරදි බව හඟවා ඇත.

නව අදහස දක්වන්න