පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට මානව හිමිකම් ගැන ශ්‍රී ලංකාවට එල්ල කරන්නේ අසත්‍ය චෝදනා | දිනමිණ

පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට මානව හිමිකම් ගැන ශ්‍රී ලංකාවට එල්ල කරන්නේ අසත්‍ය චෝදනා

ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය

පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් මෙන්ම මිථ්‍යාවක් බව ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය ප්‍රකාශ කරයි.

කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බවද මානව හිමිකම් කඩවූ බව පවසමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සම්පූර්ණයෙන්ම විරෝධය පළකරන බවද ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ අකලංක වික්‍රමතිලක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි ජයසේකරාරාම විහාරස්ථානයේ දී ඊයේ (22) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මානව හිමිකම් සම්බන්ධයෙන් අද වනවිට ශ්‍රී ලංකාව හමුවේ පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය විසින් මෙය සංවිධාන කරන ලදී.

ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, කොරියාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ, රුසියාව ඇතුළුව ලෝකයේ විවිධ රටවල වාසය කරන සහ දේශයට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් එක්ව මේ සංවිධානය පිහිටුවාගෙන තිබෙන අතර ගෝලීය දේශපාලනය, සමාජමය, පාරිසරික, ආර්ථික බලපෑම් හමුවේ ශ්‍රී ලාංකිකයන් ලෙස හා ජාතියක් ලෙස එම සංවිධානය පෙනී සිටී.

එහිදී වැඩිදුරටත් අකලංක වික්‍රමතිලක මහතා පෙන්වා දුන්නේ ගෝලීය සමාජ ප්‍රවණතාවන් නිසා රටට ඇතිවන දුෂ්කර තත්ත්වයන්වල දී මැදිහත් වී කටයුතු කිරීම තම සංවිධානයේ අරමුණ වී තිබෙන බවත් කුමන රජය බලයේ සිටිය ද ශ්‍රී ලංකාව සහ ජාතිය වෙනුවෙන් පෙනී සිටින බවත්ය. ජගත් මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා කීපයක් සම්මත වීමට නියමිතව තිබෙන බවද එහිදී අපි සංවිධානයක් වශයෙන් අපේ මතය ඉදිරිපත් කරන අතර, එම යෝජනාවලට විරෝධය දැක්වීමට කටයුතු කරන බවද කියා සිටියේය.

මේ වෙනුවෙන් පොත් පිංචක් නිකුත් කර තිබෙන අතර එය සියලු පාර්ශ්වයන්ට අද (23) බාරදීමට කටයුතු කරන බවද ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ සාමකාමී විරෝධතාවක් පවත්වන බවද ඓතිහාසික සහ විද්‍යාත්මක සාධක මත මේ වනවිට දෙමළ නිජබිම සංකල්පය හිතලුවක් බවට ඔප්පුකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය විසින් සිදුකර තිබෙන සියලු අපරාධ මේ තුළින් අපේක්ෂා කරන අතර, කුමන ජාතියක් හෝ කුමන ආගමිකයෙක් හෝ වුවද ඇතැම් දේශපාලනඥයන් පවසන පරිදි දෙමළ ජාතිකයන්ට කිසිඳු හානියක් සිදුව නොමැති බවද මේ පවතින තත්ත්වය කෘතීමව ඇති කළ දෙයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ තත්ත්වය තුළ තම තමන්ගේ පටු අභිමථාර්ථවලට ජාතිය පාවාදීමට සූදානම් නොවන්න කියා ඉල්ලන බවද කියා සිටියේය.

ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානයේ අජිත් මහතා -

වර්තමානය වනවිට නැවත මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්, විදුලි පුටු සම්බන්ධයෙන් චෝදනා පත්‍ර නැවත අපේ රටට දික් කරමින් සිටින බවත් කුඩා රාජ්‍ය ස්වාධීන වනවිට අපි වැනි රටවල් ස්වාධීනව නැඟී සිටීමේ අයිතිය වළක්වාලීමට ජාත්‍යන්තර වශයෙන් සිදුකරන බලපෑම්වල එක්තරා ක්‍රමවේදයක් ලෙස මෙවැනි චෝදනා එල්ල කරමින් පාලනය කිරීමට උත්සාහ කරන බවත් කීය.

අපේ රටේ සිවිල් යුද්ධයක් අපේක්ෂා කළ රටවල් දිගින් දිගටම මේ ගැටුමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටි බව පෙන්වා දුන් ඒ මහතා ඉන්දියාව දිගින් දිගටම එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය නිර්මාණය කිරීම වෙනුවෙන් පුරෝගාමීන් ලෙස කටයුතු කළ බවද යම් යම් අවස්ථාවල අපේ රටේ එල්.ටී.ටී.ඊ සංවිධානය ශක්තිමත් කරන්න කටයුතු කළ බවද පෙන්වා දුන්නේය.

මානව හිමිකම් සම්බන්ධයෙන් අපට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද එය මිථ්‍යාවක් බවද සඳහන් කළ ඒ මහතා ඒ සම්බන්ධයෙන් මේ රටේ මිනිසුන් සාක්ෂි සාධක සහිතව ජාත්‍යන්තරයට ඉදිරිපත් කර තිබෙන බවද රටක් ගැන සිටි මිනිසුන් හා රටට ආදරය කරන මිනිසුන් රටේ මානව හිමිකම් කඩවුණාද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි ලෙසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කරුණු දක්වා තිබෙන බවද කීය.

ත්‍රස්තවාදය අවසන් කිරීම වරදක් නොවන බව පෙන්වා දෙන ඒ මහතා සියලු ජාතීන් සතුටින් ජීවත් වන්නේ නම් කිසිඳු ගැටලුවක් නොවන නමුත් මේ අවශ්‍ය වී තිබෙන්නේ කෙසේ හෝ අපේ රට යටපත් කර ගැනීමේ ක්‍රියාදාමයක් බවද ඒ සඳහා සම්බාධක පැනවීමට උත්සාහ කරන බවද පෙන්වා දුන්නේය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් උල්ලංඝනය වී නොමැති බව පවසන ඒ මහතා ශ්‍රී ලංකාව ශිෂ්ට සම්පන්න රටක් ලෙස නීතියට, සදාචාරයට ගරු කරන බවද මේ තුළ වැරැදි චිත්‍රයක් ලෝකයට පෙන්වා කෙසේ හෝ අපේ රට යටත් කර ගැනීමට උත්සාහ කිරීමට විරුද්ධව කටයුතු කරන බවද පැවසීය.

මේ අතර මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලීමක් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප - වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න