අයියා, ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්‍යයටද? | දිනමිණ

අයියා, ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්‍යයටද?

 

පසුගිය සතියක එදවස සොඳුරුමය තීරුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න විරචිත සිංහල චිත්‍රපට ගීතාවලියේ නවතම කාණඩ දෙක (1967-1971 හා 1972-1976) පිළිබඳ මවිසින් ලියන ලද විවරණය ඔබට මතක ඇතැයි සිතමි. එම කාණ්ඩ ද්වයට ඇතුළත් චිත්‍රපට හා ඒවායේ ගීත පිළිබඳ විවරණයේ දී සුනිල් ආරියරත්න ගේ පූර්ව ගීතාවලීත්‍රයද ( 1947- 1956,1957 -1961 හා 1962 - 1966) පරිහරණය කළ බව කිව යුතුය. වසර හැත්තෑ තුනක් වයසැති සිංහල සිනමාවේ චිත්‍රපට ගීත විකාශය පිළිබඳ තොරතුරු සොයන්නකුට, ගවේශකයකුට මෙම ග්‍රන්ථ පහ සපයන තොරතුරු සම්භාරයෙහි අගය මෙතෙකැයි කියා නිම කළ නොහේ. 'වසර තිහක කාලයක් තුළ සිංහල චිත්‍රපට ගීතය විකාශය වූයේ කෙසේ ද?' යන්න ගීත ප්‍රබන්ධ තුළින් මෙන්ම සංස්කාරක සුනිල් ආරියරත්න විසින් එක් එක් කෘතියට ලියා ඇති විස්තරාත්මක සටහන් හා ඔහුගේ නිරීක්ෂණ මගින් ද පැවසෙන බොහෝ කරුණු සිංහල චිත්‍රපට ගීතය පිළිබඳ නව කියවීමකට අප පොලඹවන්නේ යයි සිතමි. එහෙත් මෙහි දී මා සිතෙහි මූලික වශයෙන් ලාලසාවක් ඇති කළේ මේ කාල වකවානු තුළ ඇසුණු චිත්‍රපට ගීත රචනා, එවායේ භාෂාව, උපමා උපමේය, සංකේත භාවිතය, භාවිත භාෂාව සඳහා ගේය කාව්‍ය රචකයන් ලද ආභාසය ආදී සියුම් කාරණා පිළිබඳ වැඩිදුර විමසීමකට ය. මෙහි දී මගේ මතකයට නැගුණු මුල් ම ගීතය මට හමුවන්නේ සිංහල සිනමා වංශ කතාවේ තුන්වන චිත්‍රපටය වූ කපටි ආරක්ෂකයා තුළ ය.

එදවස පමණක් නොව මෙදවස ද සොඳුරු යැයි මට හැඟුණේ කපටි ආරක්ෂකයා චිත්‍රපටය පිළිබඳ තොරතුරු සොයා බැලීමෙහි දීය. අද 2021 පෙබරවාරි 23 වනදාය. කපටි ආරක්ෂකයා පළමුවරට තිරගත වී ඇත්තේ 1948 පෙබරවාරි 23 වනදාවකය. එනම් අදින් වසර හැත්තෑ තුනකට පෙර අද වැනි දවසක ය. එදවස මෙරට සිනමාලෝලීන්ට සොඳුරු දවසක් වී නම්, ඒ චිත්‍රපටයට ඇතුළත්ව තිබූ රුක්මණි දේවී විසින් ගායනා කරන ලද පින්සාර මාගෙ සෝයුරා යන ගීතය හා එහි පසුබිම, ගීත ප්‍රබන්ධයෙහි වූ විශෙෂත්වය, භාෂාව ආදී කරුණු පිළිබඳ විමසුමක් කෙරෙන අද දවස ද සොඳුරු දවසකැයි සිතමි. එක්තරා විදියක අහම්බ සුන්දර දවසක් නොවෙද අද? පින්සාර මාගෙ සෝයුරා ගීතයෙහි ප්‍රධාන ම වෙනස, විශේෂත්වය කුමක් ද? අපගේ ගීත කෝකිලාව සේ එදවස සැලකුණු රුක්මණී දේවියගේ ගායනය ද? ජීවන්ලාල් නන්දනකීර්ති හෙවත් පී.එල්.ජේ.නන්දනකීර්ති ගේ ගේය කාව්‍ය රචනයෙහි වූ අපූර්වත්වයක් ද? නොවී නම් ඉන්දීය ජාතික සී.එන්.පාණ්ඩුරංගන්ගේ තනුවෙහි වූ මධුර ගුණයක් ද? ගී තනු අනුකාරක ඒවා විය හැකි යැයි සුනිල් ආරියරත්න පවසයි.

චිත්‍රපට ගීතාවලියෙහි එන පින්සාර මාගෙ සෝයුරා ගීයෙහි වචන පහත දක්වමි.

පින්සාර මාගෙ සෝයුරා - ගායනය : රුක්මණි දේවී (මල්ලිකා)

පින්සාර මා - අයියා

පින්සාර මාගෙ සෝයුරා ප්‍රේමෙන් පිදූව ජීවිතේ

දර්ශන වේ මෙ මාර්ගයේ

නංගීව ශෝක ගින්නෙ දා

යන්ට එපා දැන් මා හැරා

එල්ලෙමි මම් ඔබේ ගෙලේ

අහසේ - දියේ - වලාකුලේ

මතු වේ ඔබේ උතුම් ගුණේ

(වචන : අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්‍යයට ද? යන්ට එපා අයියා යන්ට එපා)

ඇනෙනා කටූ ශරීරයේ

වද මල් සේ යාවි ලේ ගලා

නොදැනේ ශරීර වේදනා

පල නෑ විකාර ජීවිතේ

මරණේත් සැපයි මෙ ලෝකයේ

අයියාගෙ රම්‍ය දර්ශනේ නොපෙනේ අනේ වසන් උනේ

සැපපෙම් ඔබේ මිනී වළේ

ආත්මේ අපේ ඇලී ගැලී උපදීව ස්වර්ග රාජ්‍යයේ

රුක්මණී දේවියම මල්ලිකා ලෙස රඟපාමින් ගායනා කරන චිත්‍රපට ජවනිකාව (U Tube) යූ නලයෙන් දැකගන්නට හැකිය. මියගිය ආත්මයක සෙවණැල්ලක් මතුවද්දී කටු පඳුරු ගහන වන ලැහැබක රුක්මණී මේ ගීය ගයමින් තිරයේ පසුබිමින් මතු වූ සොහොයුරාගේ මියගිය ආත්මය දෙසට යන්නීය.

ගීතය ආරම්භ වීමට පෙර ඈ විසින් මේ වදන් පවසනු ඇසේ.

"අයියා ඔබ මළවුන්ගෙන් නැගිට ආවා ද?

ඔබ දැන් සුර දූතයකුටත් වඩා ලස්සනයි

අයියා. ඔබ මා කැඳවන්නේ කොහේ යන්ට ද?

ඉන්ට අයියා."

ගීතය ඇරඹෙන්නේ මේ වචනවලින් වූවත් ගීතාවලියෙහි මේ කොටස ඇතුළත්ව නැත. එලෙසම ගීතාවලියෙහි මුද්‍රණය වී ඇත්තේ සැපපෙම් ඔබේ මිනී වළේ යනුවෙනි. රුක්මණීගේ ගායනාවෙන් ඇසෙන්නේ සැතපෙම් ඔබේ මිනී වළේ යනුවෙනි. එලෙසම අවසාන පාදයේ ඇත්තේ උපදීව ස්වර්ග රාජ්‍යයේ කියායි. ගායනයෙහි දී ඇසෙන්නේ උපදේවා ලෙසය. සංස්කාරක සුනිල් ආරියරත්න විසින් ගීතාවලියට ගීතය පිටපත් කිරීමට සොයාගත් මුල් සින්දු පොතෙහි මෙම දෝෂ තිබුණා ද නැත්නම් ගීතාවලිය මුද්‍රණයේ දී සිදු වූ මුද්‍රණ දෝෂයක්දැයි නොදනිමි. ඒ කෙසේ වෙතත් මේ ගේය කාව්‍ය රචනයෙහි මූලිකම විශේෂත්වය ලෙස මා දකින්නේ ගායනාවක් ආරම්භයේ දී හා අතර මැද දී ගායිකාව විසින් ඒක පාර්ශවීය සංවාද ස්වරූපයෙන් කරනු ලබන ප්‍රශ්න කිරීමයි. ගීතයක් අතර මැද කෙරුණු සංවාදයක් ඇතුළත් පසුකාලීන චිත්‍රපට ගීයක් මගේ මතකයට නැගේ. එහි දී සිදුවන්නේ පෙම්වතා හා පෙම්ව්තිය සංවාද ස්වරූපයෙන් ප්‍රශ්න කරමින් ඊට පිළිතුරු දීමයි. එම ගීතය අපූර්ව සුන්දර ගීතයක් ලෙස මා මතකයේ ඇත. එහි සංගීතය, ගේය කාව්‍ය රචනය හා යුග ගායනාව චමත්කාරජනකය. ඒ පිළිබඳ මතු දිනක තීරුවකින් කතාබහ කිරීමට බලාපොරොත්තු වෙමි.

රුක්මණී දේවියගේ ගායනාව නොවී නම් මේ ගීතය ඇතුළත් චිත්‍රපට ජවනිකාව දෙස බලා සිටීම නම් වෙහෙසකර අත්දැකීමකි. මළවුන්ගෙන් නැගිට එන සොහොයුරා වරෙක පෙනී නොපෙනී යයි. මල්ලිකා ගේ භූමිකාව රඟපාමින් රුක්මණී දේවී කටු ලැහැබ් අතර ඇද වැටෙමින් මුහුණෙහි සීරීම් ඇතිව සිටිනු දැකීම පිළිබඳ ප්‍රේක්ෂකයන් සිත්හි දුකක් ඇතිවන මුත් ගීතයේ වචනවලින් ඒ ශෝකය මැවීමට ගීත රචකයා සමත් නොවේ. ඈ සොයුරාගෙන් ඉල්ලා සිටින්නී ඈ හැරදා නොයන ලෙස හා ඔහුගේ ගෙලේ එල්ලෙන බව පැවසීම හාස්‍යජනකය. එහෙත් ඔහුගේ උතුම් ගුණ අහසේ දියේ වලාකුලේ මතුවේ යැයි කීම කාව්‍යාත්මකය.

ඇනෙනා කටූ ශරීරයේ

වද මල් සේ යාවි ලේ ගලා

නොදැනේ ශරීර වේදනා

පල නෑ විකාර ජීවිතේ

මරණෙත් සැපයි මෙ ලෝකයේ

අයියාගෙ රම්‍ය දර්ශනේ නොපෙනේ අනේ වසන් උණේ

සැතපෙම් ඔබේ මිනී වළේ

ආත්මේ අපෙ ඇලී ගැලී උපදෙවා ස්වර්ග රාජ්‍යයේ

මේ එකදු වචනයකින් හෝ තම මියගිය සොහොයුරා පිළිබඳ මල්ලිකාගේ සිතෙහි හටගත්තා වූ දුක් තැවුලක වේදනාවක හැඟීමක් ප්‍රේක්ෂකයාට හෝ ශ්‍රාවකයාට නොදැනේ. ශරීරය, පල නෑ විකාර ජීවිතේ, රම්‍ය දර්ශනේ උපදේවා ස්වර්ග රාජ්‍යයේ වැනි වදන් ධ්වනි ගුණයෙන් හීනය. අර්ථ රසයෙන් ද වියුක්තය. ගීතවත් බවින් තොරය. වාර්තාවකට ළං වේ. නන්දනකීර්ති ගේ බොහෝ චිත්‍රපට ගීත ජනප්‍රිය නිර්මාණ ලෙස අද ද අපි රස විඳිමු. මේ ගීතයෙහි මල්ලිකා තම මිය ගිය සොයුරා අමතමින් ප්‍රකාශිත වචන ඇතුළත් ජවනිකාව නවීන වේදිකාවෙහි නළු නිළියන් විසින් ප්‍රතිනිර්මාණය කළ අවස්ථා කීපයක්ම දැක ඇත. මනෝරම්‍ය ගී සැන්දෑවක දී රත්නාලාලිනී මල්ලිකා ලෙස මේ ගීතමය ජවනිකාව රඟ පානු දක ඇත්තෙමි.

"යන්ට එපා අයියා.." කියා ඈ කියනු බලා සිටි ප්‍රෙක්ෂාගාරය සිනා සයුරක ගිලෙනු ද මම දැක අත්තෙමි. වසර හැත්තෑ තුනකට පසු එළඹුණු පෙබරවාරි විසිතුන් වනදාවක දී අපගේ පැරණි සිංහල චිත්‍රපට ගීතමය ජවනිකාවක් සිහිපත් කළේ පැරණි චිත්‍රපට ගී රසවින්දනයක ඇරඹුමක් ලෙසිනි.

 

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න