සිනමා ඉතිහාසයම වෙනස්කළ තැනකින් ඇරඹුණු සෙලියුලොයිඩ් | දිනමිණ

සිනමා ඉතිහාසයම වෙනස්කළ තැනකින් ඇරඹුණු සෙලියුලොයිඩ්

 

මෙයට වසර ගණනාවකට පෙර එනම්, 1983 වසරේ ජූනි මාසයේදී අපගේ ප්‍රධානතම සිනමා චිත්‍රාගාරය වූ විජය චිත්‍රාගාරය සාහසිකයන් විසින් ගිනි ලන ලද්දේ අතිවිශාල වූ චිත්‍රපට පිටපත් සංඛ්‍යාව සමඟයැයි කියැවේ. සැබැවින්ම ඔවුන් ගිනි තබා විනාශ කරන ලද්දේ අපේ සිනමාවේ ‌ෙඑතිහාසික සාධකයන්ය. මේ ආකාරයටම මෙයට වසර ගණනාවකට පෙර චිත්‍රපටයක් නොදැනුවත්කම නිසා කුඩා එකකු ගේ අතින් ගිනි ගත්තේය. මේ ගින්න නිවන්නට ඔහුගේ පියා වෑයම් කළත් එය සපල වූයේ නැත. ඉක්මනින්ම ඒ පිටපතට ගිනි ඇවිලී සහමුලින්ම විනාශ විය. මේ ගින්න සමග ඒ සිනමාකරුවාගේ ආත්මය ද විනාශ වී ගියේය. එයින් වසර 50කට පමණ පසු මේ කතාව තවත් සිනමාකරුවකු අතින් සිනමාවට නැඟුණේය. පළමුවෙන්ම කිව යුත්තේ මේ සිනමා කෘතිය අග්‍රගණ්‍ය සිනමා කෘතියක් ලෙස හුවා දක්වන්නට මා අකමැති බවය. එහෙත් සිනමා ඉතිහාසය හදාරන්නන්, සැඟවුණු අපූරු වෘත්තාන්තයක් එළි කර ගැනීමේ සහ දැකබලා ගැනීමේ ආශාවෙන් යුක්ත වූ ඔබ මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුය. චිත්‍රපටයේ නම සෙලියුලොයිඩ් ය. භාෂාව මලයාලම්ය. අධ්‍යක්ෂණය කමල්ය.

කමල් කේරළ සිනමාවේ නැතහොත් මලයාලම් සිනමාවේ පළපුරුදු සිනමාකරුවකු වේ. එය ඔහුගේ හතළිස් තුන්වන චිත්‍රපටයයි. සෙලියුලොයිඩ් නැමැති මේ කේරළ සිනමා කෘතිය හෙළිදරව් කළේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ අඳුරු අතීතයයි. ඉන්දියානු සිනමා තාරකාවෝ අද දේවත්වයෙන් පිදුම් ලැබුවද එහි මුල්ම වෘතාන්ත චිත්‍රපටය වන රාජා හරිස්චන්ද්‍ර නිර්මාණය කළ ඩඩාසහෙබ් පල්කේට නිළියක් සොයා ගැන්මට මහත් දුෂ්කරතාවයට මුහුණ දෙන්නට සිදු විය. මේ තත්ත්වය කෙතරම් ද යත් ඔවුහු එවකට බොම්බාය නමින් හැඳින්වූ වර්තමාන මුම්බායි හි ගණිකා නිවාසවල සිටි කාන්තාවන් සොයා ගිය ද ඒ කිසිවකු හෝ සිනමා නිළියක වීමේ අවමානය විඳගන්නට අකමැති වූහ. එබැවින් රාජා හරිස්චන්ද්‍ර චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව රඟපාන ලද්දේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකි. කෙසේ වෙතත් කේරළ නැතහොත් මලයාලම් සිනමාවේ මුල්ම සිනමා තාරකාවගේ ඉරණම එයට වඩා බිහිසුණු එකක් වේ. එහි සිනමාකරුවාගේ ඉරණම එයටත් වඩා දරුණු ඛේදවාචකයකි. අද කේරළ සිනමාව වෙනුවෙන් පිදෙන යාවජීව සම්මානය නම් කොට ඇත්තේ එහි පියා ලෙස ගෞරවාදරයට පාත්‍ර වන ජෝසප්(ජේ) සෙල්ලයියා(සී) ඩැනියෙල් නමිනි. එහෙත් එහි මුල්ම චිත්‍රපටය නිපදවීමේ වරදට ඔහු අප්‍රමාණ නින්දාවට පත් වූවා පමණක් නොව, මිය යන්නේ ද කිසිවකුගේ හෝ උපකාරයකින් තොරව අසරණයකු හැටියටය. අප වැනි ම වූ සිනමා ඉතිහාසය සොයා යන්නට ඕනෑම දුකක් විඳින්නට කැමති පුවත්පත්කලාවේදියකු විසින් සොයා නොගනු ලබන්නට ජේ.සී ඩැනියෙල් මිය ගිය වග ද කිසිවකු හෝ නොදන්නා කරුණක් වේ.

කේරළයේ මුල්ම චිත්‍රපටය වන විගත කුමාරන් හෙවත් නැති වූ දරුවා චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්‍යක්ෂක, තිර නාටක රචකයා, ප්‍රධාන නළුවා හා සංස්කරණ ශිල්පියා ද ඩැනියෙල්ය. එමෙන්ම චිත්‍රපටය සඳහා ඔහු මුල්ම කේරළ චිත්‍රාගාරය ගොඩනඟන්නේ එවකට ට්‍රැවන්කෝර් නොඑසේනම් ත්‍රිවේන්ද්‍රම් ලෙස ද වර්තමානයේ තිරුවානන්දපුරම් ලෙස ද හැඳින්වෙන කේරළයේ අග නගරයේය. සිනමාව පිළිබඳ වූ දැඩි ආශාව නිසාම ඉන්දියානු සිනමාවේ පියා ලෙස සලකනු ලබන පාල්කේ යටතේ පුහුණුව ලබන ඔහු අනතුරුව තම මාපියන් ගෙන් උරුම දේපල විකුණා ට්‍රැවන්කෝර් නැෂනල් පික්චර්ස් චිත්‍රාගාරය ගොඩ නැංවූයේය. මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සඳහා ඔහු බොම්බායෙන් ගෙන්වන්නේ තරුණ නැගී එන නිළියකි.

එහෙත් බොම්බායේ සිනමාවේ පය ගැසූ මේ නිළියගේ ඕනෑ නැති ලොකුකම් ඔහුට බොහෝ පීඩා ගෙන දුන්නේය. ඉවසිය නොහැකි තැන ඔහු ඇයව ඉවත් කොට තම පෙදෙසින්ම, නැතහොත් කේරළයෙන්ම නිළියක සොයාගත්තේය. ඒ කුඩා නාට්‍ය කණ්ඩායමක චරිත මැවූ රෝසම්මාය. රෝසම්මාට සිනමාකරුවා විසින් ලබා දෙන නම රෝසිය. ඇය ඉන්දියානු කුලහීන කාන්තාවකි. වර්තමානයේ සිනමා දර්ශන රූපගත කරද්දී කුල භේදයකින් තොරව එහි රඟන ප්‍රධාන තාරකාවන්ට ඉහළම පෙළේ සත්කාර සිදු කෙරේ. එහෙත් එදා රෝසම්මාට දර්ශන තලයේ සිට ආහාර ගන්නට හෝ ඉඩකඩක් නොවීය. ඇය කුස්සියට වී බිම වාඩි වී ආහාර ගත්තාය.

1928 වසරේ නොවැම්බර් 27 වන දින ත්‍රිවේන්ද්‍රම් සිනමාහලේ විගත කුමරන් චිත්‍රපටයේ මුල්ම දර්ශනය තිරගත විය. එහි ප්‍රධාන නිළිය රෝසි හෙවත් රෝසම්මාට සිනමාහලට ඇතුල් වන්නට අවසර ලැබෙන්නේ නැත. ඇයට ආරාධනාවක් ඇත. එහෙත් ඇය සිනමාහලට ඇතුළු වන්නට අවසර නොලබන්නේ පළාතේ ප්‍රභූවරු සිනමාහලට ඇතුළු වී ඇති බැවිනි. ඔවුන් මේ ගැහැනිය තමා හා එක්ව අසුන් ගෙන චිත්‍රපටය නරඹනවාට විරුද්ධය. ඇයට සිදුවන්නේ සිනමාහලෙන් එපිටට වී ඇතුලේ සිදුවන කතාව අසා ගන්නටය. ඒ කාලයේ චිත්‍රපටවලට ශබ්දය තිබුණේ ද නැත. ඒ වෙනුවට තිබුණේ කතාව පටිගත කර ඇසෙන්නට සැලැස්වීමය. ඇය එළියට වී එය අසා සිටින්නේ මේ ආරාධිත දර්ශනයෙන් පසු පැවැත්වෙන ඊළඟ දර්ශනය නරඹන්නට ලැබෙතැයි බලාපොරොත්තුවෙනි. චිත්‍රපටය ආරම්භ විය. අඩක් තිරගත වෙද්දී වංශවතුන් අතර කලබලයක් ඇතිවිය. ඔවුන් එකිනෙකා මුමුණා ගනී. තව ටිකකින් ඇතිවන්නේ ප්‍රචණ්ඩත්වයකි. කුලහීන ස්ත්‍රියක් විසින් කුලවත් කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරමින් පවතී. චිත්‍රපටය අතරමග නතර කර දමන්නට මේ වංශවත්හු අණ කරති. ඊළඟ තීරණය රෝසි පණ පිටින් ගිනි තබා මරා දැමීමය. ඇය එයින් ගැලවුන ද ඇගේ මහලු පියාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේ. මරණයෙන් ගැලවෙන නමුදු රෝසි මෙකී වංශවතුන් ගේ අතවරයට ද නින්දාවට ද භාජනය වේ. ඇය ඔවුන්ගෙන් බේරී පලායයි. එසේ පලා ගොස් අනුකම්පාසහගත රියදුරකුගේ භාර්යාවක් ලෙස සැඟවී ජීවත් වූවාය. මේ අත්දැකීමෙන් කලකිරුණු ඩැනි­‍ෙයල් ද කේරළය අතහැර තමිල්නාඩුවට යන අතර දන්ත වෛද්‍යවරයකු ලෙස ජීවිතය ගොඩනගා ගනී.

පික්චර් පිස්සකුට සිනමාව අතහැර යන්නට කිසිසේත් හැකියාවක් නැත. ඉගෙනගත් පාඩමෙන් මට්ටු නොවූ ඩැනියෙල් තමිල්නාඩු සිනමා නළුවෙකුගේ ඉච්ඡා බස් නිසා තවත් චිත්‍රපටයක් තනන්නට යයි. එවර ඔහු ඉතුරු වූ සියල්ල ද හිමිකර ගනී. එපමණක් නොවේ ඔහුගේ දිරිමත් භාර්යාව වූ ජෙනට් හැර දරුවන්ගේ සෙනෙහස ද අහිමි වේ. අසරණව සැඟව කල් ගෙවන ඔහු පුවත්පත් කලාවේදියෙකු විසින් සොයාගනු ලබන්නේ 1967 වසරේදීය. ඒ වන විට ඔහු ආර්ථික වශයෙන් පමණක් නොව කායික වශයෙන් ද පිරිහී අවසානය. පුවත්පත් කලාවේදියා විගත කුමරුන් චිත්‍රපටයේ පිටපතක ඉතිරු කැබැලි සොයාගන්නේය. එහෙත් අවාසනාව නම් චිත්‍රපටය තම මුල්ම චිත්‍රපටය ලෙස පිළිගන්නට ඉන්දියානු සිනමා බලධාරීන් අකමැති වීමය. එයට හේතුව ඒ වන විට එහි ගෞරවය බාලන් නම් චිත්‍රපටය අත්පත් කරගෙන ඇති හෙයිනි. කෙසේ වෙතත් සොයාගත් චිත්‍රපටයේ පිටපතක් අද පූනා නගරයේ ඉන්දීය සිනමා සංරක්ෂණ ඒකකයේ ඉතිරිව ඇත. ඒ වන විට තමිල්නාඩුවේ පදිංචිව සිටින මලයාලම් සිනමාවේ පුරෝගාමියා වෙනුවෙන් ගෞරව දක්වන්නට කේරළ බලධාරීන් අකමැතිය. කෙසේ වෙතත් කමල් සිය චිත්‍රපටය නිම කරනුයේ ඩැනියෙල් මියගොස් තවත් වසර ගණනාවකට පසු ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ උත්සවයකිනි. ඒ සඳහා ඩැනියෙල් ගේ බාල පුත් හැරිස් ද සහභාගී වෙයි. ඔහු තමන් විසින් ද නොසලකා හරින ලද ශ්‍රේෂ්ඨ පියාණන් පිළිබඳ පශ්චාත්තාප වෙමින් අතීතාවර්ජනයක් කරයි. සුරක්ෂිත කර තබා ගන්නා ලද චිත්‍රපටයේ පිටපත ළමාවියේ තමා අතින් දැවුණු බව ඔහුට සිහිපත් වෙයි. සෙලෝලයිඩ් චිත්‍රපටය ආරම්භ වනුයේ ද එතැනිනි. ඔහු විසින් විනාශ කරනු ලබන්නේ මුල්ම කේරළ චිත්‍රපටය බව ඔහු වටහා ගන්නේ පසු කලෙකය. අපේ සිනමාවේ ද මුල්ම චිත්‍රපටය ලෙස සැලකෙන රාජකීය වික්‍රමයට අත් වූයේ එබඳුම ඉරණමක් දැයි නොදන්නා නමුත් මේ 'රාජකීය වික්‍රමය' ද ගිනි ගන්නා ලද බව පමණක් අපේ ඉතිහාසයේ සඳහන් වෙයි. එයින් වසර ගණනාවකට පසු කතා නාද චිත්‍රපටයක් ලෙස එළි දකින කඩවුණු පොරොන්දුවට අපි ගෞරවය ලබාදී ඇත්තෙමු. අතීතයේ දේශීය සිනමාව ගොඩ නගන්නට වෙර දැරූ අන් සියලු යුගපුරුෂයෝ අමතක කර දමන්නට ශ්‍රී ලාංකික සිනමා ඉතිහාස බලධාරීන් ද සූදානම්ව සිටිති.

පසු කලෙක හෝ වරද නිවැරදි කර ගන්නට කේරළ සිනමවට හැකි විය. අවාසනාව වූයේ ඩැනියෙල් ජීවත්ව සිටින කාලයේ එම ගෞරවය ලබා ගන්නට නොහැකි වීමය.

විගත කුමරන් චිත්‍රපටයේ අවසානයේ අපේ සිනමාවේ ද වැදගත් කරුණක් ඇතුළත් වෙයි. එනම් එහි දර්ශන කේරළ චිත්‍රාගාරයෙන් පසු කොළඹ නගරයේ රූපගත කරන ලද බව ය. එම කතා පුවතේ සඳහන් වන්නේ නැති වන දරුවා අරගෙන යන්නේ ලංකාවේ කන්ද උඩ රටට බවය. ඔහුව සොයා යන්නේ අපේ උඩරටට ය. ඒ අනුව 'විගත කුමරන්' ඉතිරි දර්ශන ශ්‍රී ලංකාවේ රූපගත කළා ද නැද්ද යන්න අදටත් අපට සොයාගත නොහැකි කාරණාවකි. මේ අපේ සිනමාවේ ද ඉතිහාසඥයන්ගේ අවධානය යොමු විය යුතු කරුණකි. සුරබි දෙනක ලෙස පෙනෙන ඉන්දියානු සිනමාව ගොඩනැගුවේ ඉන්දියානුවන්ට අයත් සම්ප්‍රදායන් හා ගැටෙමින් ඒවා අතික්‍රමණය කරමින් බව බොහෝ දෙනා දන්නේ නැත. සෙලියුලොයිඩ් මේ ඉතිහාසය කදිමට විවරණය කරයි. චිත්‍රපටයේ ඩැනියෙල් ලෙස චරිත නිරූපණය කරනුයේ සුප්‍රකට මලයාලම් නළු ප්‍රිත්විරාජ් සුකුමාරන්ය. මේ චිත්‍රපටය සිනමාකරුවකුගේ සැඟවුණු අතීතය පමණක් නොව පහන් කන්ද පා මුල අඳුරු බව ද අපට කියා දෙයි.

අරුණ ගුණරත්න

නව අදහස දක්වන්න