ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු මේනකා විජේසුන්දර ඉවත් වෙයි | දිනමිණ

ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු මේනකා විජේසුන්දර ඉවත් වෙයි

නෙල්කා මැදගෙදර

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට අදාළ ව බොරු සාක්ෂි සෑදූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ එහි උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊයේ (23)විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

එම පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරිය මේ බව සඳහන් කළාය.

එබැවින් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා වෙත යොමු කළ අතර එය සලකා බැලීම සදහා නව විනිසුරු මඩුල්ලක් නම් කරන ලදී.

ඒ අනුව එම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසින්හ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මාර්තු මස 01 වැනිදා කැඳවීමට නියම කෙරිණ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අදාළ ව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ ගම්පහ මහාධිකරණය ඉකුත් දෙසැම්බර් 08 වැනිදා එම සැකකරුවන් දෙදෙනාගේ ඉල්ලීම සහ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

ගම්පහ මහාධිකරණයේ එම තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරු විසින් නීතීඥ චමින්ද අතුකෝරල මහතා මගින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

නව අදහස දක්වන්න