වැල්ලම්පිටියේ කල්ලියක් නිසා කතුන්ට නින්දක් නෑ | දිනමිණ

වැල්ලම්පිටියේ කල්ලියක් නිසා කතුන්ට නින්දක් නෑ

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙන්නවත්ත, ජම්බුගහවත්ත හා කිත්තම්පහුව යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන්ගේ සිරුරු ස්පර්ශ කරනා පිරිසක් පිළිබඳ පැතිර ඇති ආරංචියක් හේතුවෙන් මාස කිහිපයක සිට තමන්ට රෑ නින්දක් නැතිව කාලය ගත කිරීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට වරින්වර පැමිණිලි කොට ඇතත් මෙතෙක් කිසිඳු සහනයක් ලැබී නැති අතර ජම්බුගහවත්ත ප්‍රදේශයේ නිවෙසකට අතුළු වී නිවැසියන්ගේ ග්‍රහණයට ගත් එවැනි පුද්ගලයන් දෙදෙනෙක් පොලිසියට භාර දීමට ප්‍රදේශවාසීන් සමත් වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා වෙන්නවත්ත රණශූර මාවතේ පැවති මාධ්‍ය හමුවකදී ගම්මු මේ පිළිබඳ පවසා සිටියහ.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මේ ප්‍රදේශය නියෝජනය කරනා මන්ත්‍රීවරිය වන නිල්මිණි ගර්ලැක් මහත්මියද මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"රාත්‍රී කාලයට එනවයි කියන තරුණ කල්ලිය මොන වගේ අයද කියලා අපට කියන්න බෑ. අපට අවශ්‍ය කාන්තාවන්ට සිදුවන හිංසනය සමඟ අනාගතයේ රටට බලපෑ හැකි ඛේදවාචකයකින් මේ වගේ සිද්ධිවලට සම්බන්ධ වන තරුණ පිරිස්ද අපේම සහෝදර ජනතාවක් නිසා ඔවුන් රැක ගැනීමටයි. එවැනි අය යම්කිසි පුනරුත්ථාපන වැඩපිළිවෙළකට සම්බන්ධ කර සමාජගත කිරීමක් කළ යුතුයි. මේ අය පසුගිය දවස්වල හිරෙන් නිදහස් කරපු අය කියලත් ගොඩක් අය කියනවා."

ප්‍රදේශවාසී කාන්තාවක් වන ඉනෝකා මහත්මිය,

"මට දියණියන් සිටිනවා. දරුවන්ගේ පියා අසනීපයෙන් නිසා දැන් ගේ මුර කරන්න වෙලා තියෙන්නේ මට. දවසක් රෑ, ගෙයි වහලය පැත්තේ සද්දයක් ඇහිලා දොර ඇරලා බලනකොට කවුද ගේ පිටිපස්සේ ඉඳලා දුවනවා දැක්කා, මීට ඉස්සරත් වෙන ගෙදරක වහලයෙන් බැහැලා මේ වගේ පුද්ගලයෙක් ගෙට ඇවිත්. මේකට මොකක් හරි විසඳුමක් දෙන්න කියලා මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා."

දීපිකා මහත්මිය,

"මේ කණ්ඩායමේ හතර දෙනෙක් විතර ඉන්නවා කියලයි ආරංචිය. අපට දැන් මේ කල්ලිය නිසා රෑට නින්දක් නෑ. සමහරදාට මේ ගෙයි ස්ලැබ් එක උඩට වෙලා රෑ එළිවෙන තුරා බලාගෙන ඉන්නවා. ඒ මදිවාට මේ කොරෝනා වසංගතය. මෙහෙම ගියොත් නිදි මරලා දුක් විඳලාම අපි මැරිලා යයි."

 

නව අදහස දක්වන්න