අත්බෝම්බයක් එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට | දිනමිණ

අත්බෝම්බයක් එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට

ඇල්පිටිය පොලිස් වසමට අයත් ගණේගොඩ ගොළුවාමුල්ල පුටුවලකඩ ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි. සැකකරු 2009 වසරේ සිට යුදහමුදාවේ සේවය කර 2016 වසරේදී ඉන් ඉවත් වූ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඇල්පිටිය වත්තේ නාගහතැන්න කොටසේ මුරකරුවකු ලෙස සේවය කරන 34 හැවිරිදි අයෙකි. ගෙවත්තේ වළදමා තිබියදී සොයාගත් විදේශීය රටක නිෂ්පාදිත ජේ.ආර්. වර්ගයේ ජීව අත් බෝම්බය සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ඇල්පිටිය විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් (31109) ඉන්ද්‍රලාල් මහතා ලබාදුන් තොරතුරු මතය. මෙම සැකකරු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මීට පෙර මාස තුනක් පමණ සිරගතව සිටි අයෙක් බවද පොලීසිය කියයි. සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.වයි.ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සමරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩී.සාගරතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් වරුන් වන (69184) සමරනායක, (79748) කරුණාරත්න, (12743) වික්‍රමසිංහ කාන්තා පොලිස් කොස්තාපල් (10586)අංජලී සිවිල් ආරක්ෂක (010864) අජිත් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අයි. එම්. වී. සී. ගුණසේකර - ඇල්පිටිය සමූහ

නව අදහස දක්වන්න