කතරගම දේවාලයට ලැබෙනා ආදායම් ගැන කවුරුත් මෙතෙක් හෙළි කර නෑ | දිනමිණ

කතරගම දේවාලයට ලැබෙනා ආදායම් ගැන කවුරුත් මෙතෙක් හෙළි කර නෑ

බස්නායක නිලමේ 2020 අයවැය ඉදිරිපත් කරයි

රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්ම සඳහා දේවාලය ඉදි කළ දුටුගැමුණු මහා රජතුමා ගොඩ මඩ ඉඩ කඩම් ලබා දී එම ඉඩම් බදුකරුවන්ට දී එම මුදල් උපයෝගි කරගෙන දේවාලයේ පැවැත්මට යොදාගෙන තිබෙනවා යැයි කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කීය. වර්තමානයේ දෙස් විදෙස් බැතිමතුන්ගේ පැමිණීම මත කතරගම දේවාලයට නිසි ආදායමක් ලැබෙනා බවත් දේවාලය හරහා බොහෝ සංවර්ධන ක්‍රියාවන් රැසක් ඉටු කරන්න හැකියාව ලැබී ඇති බවත් ඒ මහතා කීය.එම තනතුරට ඔහු පත්වීමෙන් පසුව 2020 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් අග දක්වා දේවාලය සම්බන්ද අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් බස්නායක නිල මැඳුරේ දී ජනමාධ්‍යවේදීන් වෙත තොරතුරු ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙසේ කීවේය.

W"මෙතෙක් කාලයක් කිසිදු බස්නායක නිලමේවරයකු දේවාලයේ ආදායම් මාධ්‍ය වෙත ලබා දුන්නේ නැහැ මම ප්‍රථම වතාවට මෙම තොරතුරු මාධ්‍ය වෙත ලබා දෙනවා.කතරගම දේවාලයට අයත් ඉඩකඩම්වල නිසි බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති පිරිස් රැසක් සිටිනවා. ඇතැමුන් දේවාලයට අයවිය යුතු මුදල් නිසි ලෙස නොදීම නිසා කෝටි ගණනාවක් දේවාලයට ලැබීමට ඇති මුදල් අහිමි වී පවතිනවා. මේ වනවිට දේවාලයේ පවිත්‍රතා අංශයට, අලි ඇතුන් නඩත්තුවලට, සේවක වැටුප් ඇතුළුව වියදම් මසකට රුපියල් ලක්ෂ 60ක් පමණ වැය වෙනවා. අද වන විට පුදබිම ඉතාම ක්‍රමවත් භාවයකින් බැතිමතුන්ට සුදුසු පරිසරයකින් යුතුව පවත්වා ගෙන යෑමට හැකි ලෙස මා පැමිණි පසුව සකස් කළා. පුදබිම පූජා පැවැත්වෙන කාලයට ජංගම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වන හානි වැළැක්වීමට මෙන්ම මැණික් ගඟ අපිරිසුදු වන ස්ථාන පිරිසුදු කිරීමටත් මට හැකි වුණා. කතරගම දේවාලයේ භූමියේ ඇති භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුවේ සේවකයන් 30ක් පමණ සිටියත් ඔවුන් සතු වගකීම් පැහැර හැර තිබෙනවා. මේ වනවිට කතරගම දේවාලය මඟින් සමාජීය වැඩ සටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. කතරගම දහම් පාසල් දරුවන් වෙත නොමිලේ ආහාර පාන ලබා දීම, 05 වසර ශිෂ්‍යත්ව පංති මෙන්ම සමාන්‍ය පෙළ දරුවන් වෙත අමතර පංති පැවැත්වීම,දේවාලයට ලැබෙන පලතුරු නොමිලේ බැතිමතුන්ට ලබා දීම මෙන්ම ඌවේ සහ දකුණේ විහාරස්ථාන වෙත විවිධ වැඩසටහන් සඳහා දායකත්වය ලබා දීමත් සිදු කරනවා. මේ වන විට කතරගම දිසා රෝහල ප්‍රතිසංස්කරණය කර රෝහලට පහසුකම් ලබා දීමට ඉදිරියේ කටයුතු සිදු කරනවා. බස්නායක නිලමේ ලෙස මා කතරගමට පැමිණ පසු අසරණ පවුල් වෙත නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවුවා. මා මෙලෙස ඉදිරිපත් කරන්නේ මා පත් වූ 2020 වර්ෂ‍යේ 10 වැනි මාසයේ සිට 2020 වර්ෂයේ 12 වැනි මාසයේ අග දක්වා කතරගම දේවාලයට ලැබුණු සහ වියදම් වූ මුදල් වාර්තාවයි. දේවාලයේ පුණ්‍ය ආධාර සහ දේවාලයේ ඉඩකඩම්වලට අයත් බදු මුදල් ඇතුළු ලැබීම් රුපියල් මිලියන 12ක් වන අතර දේවාලයේ සේවක නඩත්තු, අලි ඇතුන්, පවිත්‍රතා අංශ සහ දේවාලයෙන් සිදු කරන සුබසාධක සේවාවන් ඇතුළු සේවක වැටුප් සඳහා බැතිමතුන්ගේ යටිතල පහසුකම් ලබා දීම පිණිස මාස 03ක වියදම රුපියල් මිලියන 19ක් වන අතර හිඟ මුදල් රුපියල් මිලියන 06ක් පමණ වන බව ද බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මාධ්‍යවේදීන් වෙත අයවැය වාර්තාව යොමු කරමින් පැවසීය.

 

නව අදහස දක්වන්න