පරිසරය විනාශ කරන්නන් අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙළක් - පරිසර ඇමැති | දිනමිණ

පරිසරය විනාශ කරන්නන් අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙළක් - පරිසර ඇමැති

බුද්ධිකා ඉඹුලාන
පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අතින් නා පැළයක් රෝපණය කිරීම හා පැළ ලක්ෂයක් රෝපණය සඳහා සකස් කළ ජංගම දුරකථන යෙදවුම ක්‍රියාත්මක කිරීම සිදු කළ අවස්ථාව.

නීති විරෝධී ලෙස පරිසරය විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් වැඩ පිළීවෙළක් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරම්භ කළ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

කැළෑ කපා පරිසරය වැනසීමට රජය කිසිවකුට හෝ අවසර දී නැති බවත් අහිංසක ගොවියන්ට ඔවුන් වගා කළ බිම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස රජය දුන් උපදෙස් වැරදි ආකාරයට යොදා ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් වනය විනාශ කරන බවත් ඇමැතිවරයා කියයි.

මේ ක්‍රියාවන් පසුපස ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ජාවාරම්කරුවන්ට සහාය දෙන රජයේ නිලධාරිනුත් සිටින බවත් කී ඇමැතිවරයා පැවැසුවේ කැළෑ කපා පරිසරය විනාශ කරමින් සිටින එවැනි පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි ජනාධිපතිතුමන් ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවයි. එමෙන්ම ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පරිසරය සුරැකීමේ පුළුල් වැඩපිළීවෙළක් ද මේ වන විට අරඹා ඇති බවත් මහින්ද අමරවීර මහතා කියයි.

ඇමැතිවරයා එම අදහස් පළ කළේ පෙරේදා (22) පස්වරුවේ පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති ලෝක බාලදක්ෂ දින සැමරුම් නිල උත්සවයකට සහභාගි වෙමිනි. ශ්‍රීලංකා බාලදක්ෂ සංගමය විසින් පැළ ලක්ෂයක් රෝපණය කිරිමට ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් පරිසර අමාත්‍යාංශය විසින් මේ උත්සවය සංවිධානය කර තිබිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

බාලදක්ෂයා යනු පරිසර හිතකාමි අයෙක්. බේඩ්න් පවල් සාමිවරයා පරිසරය සමඟ ජීවත් වු කෙනෙක්. එතුමාගේ ඡන්ම දිනය සමරණ අද වැනි දිනෙක ඒ මග අනුගමනය කරමින් අද ශ්‍රීලංකා බාලදක්ෂ සංගමය මෙවැනි රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කිරීම අගය කරනවා.

අද සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ පරිසර විනාශයන් ගැනයි. පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේ නැතැයි චෝදනා එල්ල කරන්නේ පරිසර අමාත්‍යංයටයි. නමුත් මේ විෂයය අමාත්‍යංශ කිහිපයකට බෙදී තිබෙනවා. පරිසර, වනජීවි, හා වනසංරක්ෂණ යනුවෙන්. මහවැලි සංවර්ධන අමාත්‍යංශයටත් කොටසක් අයත් වෙනවා. නමුත් පරිසරය ඉළක්ක කර ගනිමින් සිදු වෙන ඇතැම් හානිකර ක්‍රියාවන් වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශයට ඝෘජු වගකීමක් නැතත් එම ජාතික වගකීම ඉටු කිරීමට පරිසර අමාත්‍යාංශය බැඳී සිටිනවා.අපිට ලොකු පොඩි හෝ ප්‍රබල හා දුබළ යැයි බේදයක් නැහැ. පරිසරය විනාශ කරන කවුරුන් වුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒ හැම දෙනාම සළකන්නේ නීතිවිරෝධී ක්‍රියාවලට අනුබල දක්වන අය ලෙසයි. ඒ නිසා අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.

පරිසර විනාශ කිරීම් සම්බන්ධව ජනාධීපතිතුමා හැමදාම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරනවා. ඒ නිසාම එතුමා මේ පරිසරය විනාශ කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩ පිළීවෙළක් ආරම්භ කළා. පරිසර හානි ගැන ආරක්ෂක අංශවලට දැනුම් දීමට 1997 ඝෘජු දුරකතන අංකයක්, පාරිසරික පොලිසිය ශක්තිමත් කිරීම හා තොරතුරු ලබා ගැනීමට හා ක්‍රියාත්මක වීමට වෙනමම ඒකකයක්, ඒ වගේම ගුවන් හමුදාව සතු ඩ්‍රෝණ යානා උපයෝගී කර ගනිමින් වන විනාශයන් නිරීක්ෂණය කිරීම හා එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම වැනි පියවර රැසක් ගෙන තිබෙනවා. අපිත් පරිසර අමාත්‍යංශය විදියට පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව තරාතිරම නොබළා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපේ දිස්ත්‍රික් නිලධාරින්ට දැනුම් දුන්නා. ඒ නිසා කවුරුහරි හිතනවා නම් කැළෑ කපා විනාශ කරන්නට මින් පසු ඒ සඳහා ඉඩක් නැහැ. ඒ වගේම මේ කටයුතුවලට සහාය දක්වන රජයේ නිලධාරින් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගෙන ගෙදර යැවීමටත් කටයුතු කරනවා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා -

අපේ රටේ වනගහණය ඉහළ නැංවීමට මෙවැනි රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා යැයි කිව්වද එහි සත්‍යවයක් නැහැ. වනගහණය ඉහළ නැංවීම පහසුවෙන් කළ හැක්කක් නොවෙයි.වනාන්තරයක් යනු පරිසර පද්ධතියක්. එවැනි පරිසර පද්ධතියක් කෘත්‍රිමව නිර්මාණය කිරීම පහසු කාරණයක් නොවෙයි. රුක් රෝපණයේ දී සිදුවන්නේ රුක්ගහණය ඉහළ යාමයි. ඒ නිසා වර්තමානයේ අපි ක්‍රියාත්මක කරන මෙවැනි වැඩ සටහන්වලින් අපේ රටේ තිබෙන සමස්ත රුක්ගහණය ඉහළ නංවාලීමට හැකියාව ලැබෙනවා.

නව අදහස දක්වන්න