ඊයේ දිනයේත් නව කොරෝනා ආසාදිතයෝ 518ක් | දිනමිණ

ඊයේ දිනයේත් නව කොරෝනා ආසාදිතයෝ 518ක්

සුභාෂිණී සේනානායක
රක්ෂණ ශ්‍රියන්ත

මරණ 5ක්

මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 518 දෙනකු ඊයේ (23) උදෑසන වන විට හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම පුද්ගලයන් අතරින් 28 දෙනකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි. අනෙකුත් පුද්ගලයන් 490 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයෝ වෙති. හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 175කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 77ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 41ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයන් 197 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

ඊයේ (23) දින උදෑසන වන විට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 76,918කි. එයින් පුද්ගලයන් 73,716 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (23) උදෑසන වන විට, මෙරට කොවිඩ් ආසාදිතයන් සම්පුර්ණ සංඛ්‍යාව 80,516ක් වන අතර, එයින් පුද්ගලයන් 75,109ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඊයේ (23) උදෑසන වන විට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාදිතයන් 4,957 දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ (23) දින උදෑසන 06.00න් අවසන් වූ පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පුද්ගලයන් 811ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඊයේ (23) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදනයවී පුද්ගලයන් 05 දෙනකු මිය ගොස් ඇත. ඔවුන් නුගේගොඩ, කොළඹ 13, කොළඹ 12, දූනගහ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ය. ඒ අනුව, ඊයේ (23) උදෑසන වන විට ‍මෙරට කොවිඩ් ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (23) දිනයේදී ත්‍රිවිධ හමුදාවෙන් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 97ක පුද්ගලයන් 9,618 දෙනකු නිරෝධායනය වෙමින් සිටියි. පෙරේදා (22) දිනයේ පීසීආර් පරීක්‍ෂණ 11,779ක් සිදු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න