තිබ්බටුමුල්ල වෙල් යායේ අද්භූත ගිලා බැසීමක් | දිනමිණ

තිබ්බටුමුල්ල වෙල් යායේ අද්භූත ගිලා බැසීමක්

උකුවෙල, තිබ්බටුමුල්ල වෙල් යායේ හේතුවක් පැහැදිලි කළ නොහැකි ලෙස ගිලා බැස ඇති කුහරය පිළිබඳව යම්කිසි නිගමනයකට ඒමට රේඩාර් තාක්ෂණය යොදාගෙන භූ අභ්‍යන්තර තොරතුරු ගැනීමට කටයුතු කරන බව මාතලේ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ පී. මොරේමඩ මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

'තිබ්බටුමුල්ල වෙල් යායේ කුහරය අඩි 4ක් පමණ පළල සහ ගැඹුර අඩි 5කට ආසන්නව කවාකාර හැඩයකින් යුතුව දක්නට ලැබෙනවා. ඒ ස්ථානය නිරීක්ෂණය කළා. නිශ්චිත නිගමනයකට ඒමට නොහැකියි. එනිසා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරනවා.'

මේ ගිලා බැසීම සම්බන්ධව කුඹුර අයිතිකරුවන් සහ අසල්වාසීන් සඳහන් කරන්නේ වසර 50කට වැඩි කාලයක් මේ කුඹුරේ ගොවිතැන් කටයුතු කරන බවත්, මෙපමණ කාලයකට මෙවැනි දෙයක් නොදුටු බවත්, එනිසා යම්කිසි බියක් ද ඇති වන බවයි.

මේ පිළිබඳව වාරියපොළ වෙල් යාය භාරව කටයුතු කරන කෘෂි පර්යේෂණ නිලධාරිනී කුමුදු මහත්මිය මෙසේ සඳහන් කළාය.

'මේ වෙලේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. එනිසා මේ පිළිබඳව බලධාරීන් අවධානය යොමු කළ යුතුයි. දිනෙන් දින මෙහි ගැඹුරේ යම් වෙනස් තත්ත්වයක් ඇති වෙනවා. උකුවෙල ප්‍රාදේශීය ලේකම්, මාතලේ ගොවිජන සේවා කාර්යාලය, වසම භාර පොලිස් නිලධාරී, ග්‍රාම නිලධාරි මහත්වරුන්ද මේ ගැන දැනුම්වත් කර තිබෙනවා. දැනට එම ස්ථානය නැරඹීමට නොයන ලෙසට දැනුම්වත් කිරීමට දැන්වීමක් ද ප්‍රදර්ශනය කර තිබෙනවා. පළමුව ගොවියා ආරක්ෂා කිරීම යුතුකමක්.'

උකුවෙල සංචාරක - ප්‍රියන්ත සුමනසේන

නව අදහස දක්වන්න