ව්‍යාජ තොරතුරු භාවිත කරමින් රෝගීන්ට ප්‍රතිකාර කළ කාන්තාවක් කොටු වෙයි | දිනමිණ

ව්‍යාජ තොරතුරු භාවිත කරමින් රෝගීන්ට ප්‍රතිකාර කළ කාන්තාවක් කොටු වෙයි

අසේල කුරුළුවංශ
ව්‍යාජ වෛද්‍යවරිය විසින් ගම්පහ නගරයේ පවත්වාගෙන ගිය ප්‍රතිකාර මධ්‍යස්ථානය

මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියකගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස භාවිත කරමින් ගම්පහ ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපැයූ බව කියන කාන්තාවක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා හෙට්ටිආරච්චි මහත්මිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අදාළ කාන්තාව ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කාන්තාව ඇගේ ඡායාරූපය යොදා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද බවට ව්‍යාජ තොරතුරු පළ කර තිබෙන බව ද පොලිස් පරීක්ෂණවලින් අනාවරණයවී තිබේ.

වසර ගණනාවක් පුරා මේ කාන්තාව ගම්පහ ප්‍රදේශයේ රෝගීන් ගණනාවකට ප්‍රතිකාර දී තිබෙන බවත්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියගේ ලියාපදිංචි අංකය භාවිත කරමින් අදාළ කාන්තාව සියලුම රෝගවලට ප්‍රතිකාර දී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇත. සැකකාර කාන්තාව විශේෂඥ වෛද්‍යවරියගේ තොරතුරු ඇතුළත් කර මුද්‍රණය කර තිබූ කාඩ් පතක් වෛද්‍යවරිය අතට පත් වීමෙන් පසු ඇය ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත, මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ අපරාධ අංශය පරීක්ෂණ පවත්වයි.

 

නව අදහස දක්වන්න