අගමැති උපදෙසින් දියසරු උයනට නව අංග රැසක් | දිනමිණ

අගමැති උපදෙසින් දියසරු උයනට නව අංග රැසක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ ගොඩනැඟූ කොළඹ අග නගරයේ පිහිටි ප්‍රධාන තෙත්බිම් උද්‍යානය හෙවත් දියසරු උයනට ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නව අංග රැසක් එකතු කිරීමේ පුළුල් සැලසුම් දැනට සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

බත්තරමුල්ල, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාරේ කිඹුලාවලට ආසන්නව දියවන්නා ඔය ඉදිරිපිට පිහිටා තිබෙන දියසරු උයන අක්කර 60ක ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිමකින් සමන්විතය.

ජල කළමනාකරණය සිදු කරන අතරම ජෛව විවිධත්වය නැරඹීමට, දැනුම වර්ධනය කරගැනීමට සහ ජීවිතවලට අමතර වටිනාකමක් ලබා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව උදාකර දීම යන අරමුණු මත දියසරු උයන නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය ඉංජිනේරු එන්.එස්. විජයරත්න මහතා ප්‍රකාශ කරයි.

2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟම ඇති වන නිදහස් වටපිටාව තුළින් ඇරඹෙන “කොළඹ අගනගර තෙත්බිම් ක්‍රමෝපාය සැලැස්ම” යටතේ තෙත්බිම් ගුණාත්මකව පරිහරණය කරන ආකාරය පිළිබඳ සොයා බැලෙන පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙස දියසරු උයන නම් කර තිබේ.

මෙම භූමිභාගය 1980 කාලයේ දී කුඹුරු යායක් ලෙස පැවති අතර, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ගොඩනැගීමේ දී සාදන ලද වැවේ රොන්මඩ ඉවත් කර දමා ඇත්තේ මෙම දියසරු උයන පිහිටි භූමිභාගයට ය. එහිදි රොන්මඩ බහුලවීම මත විවිධ ශාක වර්ග ඇතිවීමත්, ගංවතුරින් යට වීමත්, මත්ස්‍යයන් බෝවීම සහ විවිධ වර්ගවල පක්ෂීන්ගේ පැමිණීමත් හේතුවෙන් මෙම ප්‍රදේශය ස්වාභාවිකව සංවර්ධනයට ලක් වී ඇත.

යුද බිය පහ වී, ජනතාවට නිදහසේ ජීවත්වීමට අවස්ථාව ඇතිවීමත් සමඟම ඇරඹුණු නාවල නාගරික තෙත්බිම් උද්‍යානය, දියත උයන වැනි තෙත්බිම් උද්‍යානවලට සමඟාමීව ගොඩනැඟුණු දියසරු උයන මේ වන විට විවිධ අවස්ථා සඳහා ජනතාව භාවිතා කරති.

විවිධ උත්සව අවස්ථා සඳහා ඡායාරූප ගැනීම් මෙන්ම රූගත කිරීම්, පරිසර වැඩමුළු සහ පාරිසරික පර්යේෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසකට අදාළ කටයුතු සඳහා දියසරු උයන කොළඹ ආසන්නයේම පිහිටි ජෛව විවිධත්වයෙන් යුත් උද්‍යානයන් වීම විශේෂත්වයකි.

දියසරු උයනෙහි ඉතා යහපත් ජෛව පරිසර පද්ධතියක් පැවතීම, සැමට සරිලන ප්‍රමාණවත් ඉඩක් තිබීම, ජලය, ශාක සහ වගුරුබිම් පැවතීම මෙන්ම මේ සියල්ල ස්වභාවික ක්‍රියාවලියට අනුකූලවීම නිසා මෙම භූමිය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

දියසරු උයනෙහි ශාක වර්ග 150කට වඩා අධිකව පවතියි. මෙහි වසන සත්ත්ව කොට්ඨාස අතරේ ‘බත්කූරා’ නමින් හැඳින්වෙන සත්ව විශේෂය විවිධත්වයෙන් යුත් ගහනයක් ලෙස වර්ධනය වී ඇත. වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති හඳුන් දිවියන් මෙන්ම නිශාචර සතෙකු ලෙස හැඳින්වෙන දිය බල්ලා, විවිධ වර්ගයේ සමනලුන් සහ පක්ෂීන් ඒ අතර විශේෂ වී තිබේ.

ආක්‍රමණික ශාක බහුල මෙහි දේශීය ශාක අතර කඳුරු, වෙල්ආතා, හබරල, ගොඩපර සහ හුණු කිරිල්ල වැනි දේශීය ශාක දක්නට ලැබේ.

ඉදිරි වර්ෂයක දී පැවැත්වීමට නියමිත මෙවැනිම වූ තෙත් බිම් ආරක්ෂා කරගමින් සංවර්ධනය කර ඉදිරියට පවත්වාගෙන යන රටවල් 179 ක් එකතුවෙමින් සෑදුනු ලෝක සංවිධාන තෙත්බිම් සමුළුවේ මීළඟ සමුළුව දියසරු උයන භූමියේ දී පැවැත්වීමට නියමිතය.

ලංකාවේ නාගරික තෙත්බිම්වල මහගෙදර ලෙස හැදින්වෙන දියසරු උයන ලංකාවේ එකම නාගරික තෙත්බිම් මධ්‍යස්ථානයයි.

දියසරු උයන සඳහා මේ වන විට රුපියල් මිලියන සියයකට ආසන්න මුදලක් වියදම් කර ඇත.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න