‘කෝලා’ සංස්කෘතියෙන් දරුවන් ගලවා ගැනීම වැදගත් - කර්මාන්ත ඇමැති | දිනමිණ

‘කෝලා’ සංස්කෘතියෙන් දරුවන් ගලවා ගැනීම වැදගත් - කර්මාන්ත ඇමැති

රක්ෂණ ශ්‍රියන්ත

ඉතිහාසයෙන් අපට උරුම වූ ආහාර සංස්කෘතියෙන් එළියට ගොස් ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප අද පත්වෙමින් සිටින බවත්, ඒ ඉරණමට එරෙහිව සටන් වැදීමේ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තම කොටස ඉටු කරමින් 'පැණි බීම - කෝලා' සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගම දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ' නෙල්ලි - කෝලා' පානය ජනගත කිරීම මෙරට සෙසු ව්‍යවසායකයන්ට ගත හැකි බෙහෙවින් අගය කළ යුතු ආදර්ශයක් බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

පෙරේදා (22) පානදුර 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගම 'නෙල්ලි කෝලා' පානය ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

මුදිත සමනක්කොඩි මැතිතුමා 'නෙල්ලි කෝලා' නැමැති පානය මෙරට වෙළඳපොළට පමණක් නොවෙයි අනාගතයේදී පිටරට වෙළෙඳපොළ ද ඉලක්ක කොටගෙන නිපදවා ජනගත කරන අවස්ථාවට සහභාගී වීමට ලැබීම මම ඉතා වැදගත් කොට සලකනවා. ඕනෑම ජාතියක ඉරණම තීරණය කළ හැකි එක් ප්‍රබල සාධකයක් වන්නේ එම ජාතිය සතු ආහාර සංස්කෘතියයි. යුද්ධයකදී එකවර මරන්න පුළුවන් වගේම ජාතියක ආහාර සංස්කෘතිය වැරැද්දුවොත් එම ජාතිය ටික ටික මරන්න පුළුවන්.

අද අපි ජීවත් වන්නේ බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග බහුල වූ සමාජයකයි. 'රෝහල්වල ඉඩකඩ මදි' කියා අවලාද නැගුවාට අපේ ආහාර සංස්කෘතියේ තිබෙන අවුල ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. පිටරටින් 'කිරිපිටි' කියා එන එහෙත් කිරිපිටි නොමැති ඌරු තෙල් වැනි දෑ අඩංගු බහුජාතික සමාගම්වල පිටි බීලා අපේ දරුවෝ පාසල් ගියාම ඔවුන් ටික කාලයකින් දියවැඩියාවෙන් ඔත්පල වූ දරුවන් වෙනවා. පාන් පිටි කෑම කාලා කොලෙස්ටරෝල් බහුල දරුවන් වෙනවා. ඉතිහාසයෙන් උරුම වූ ආහාර රටාවෙන් අපි එළියට යනවා. ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප පත් වෙමින් තිබෙනවා.

මේ ඉරණමට එරෙහිව සටන් වැදීම මේ යුගයේ අප සියලුදෙනාටම පැවරුණු ඓතිහාසික වගකීමක්, යුතුකමක්. ඒ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තමන් සතු කොටස තමයි අද මුදිත සමනක්කොඩි මැතිතුමා ප්‍රධාන මේ පිරිස ඉටුකරමින් සිටින්නේ. අපේ දරුවන් 'පැණි බීම - කෝලා' බීලා ඒ නිසා හැදෙන බෝනොවන රෝගවලට ගොදුරු වන විට ඒ දිහා නිකං බලා නොසිට ඒ දරුවන් 'පැණිබීම - කෝලා' සංස්කෘතියෙන් එළියට ගැනීමට තමයි මේ අය කටයුතු කරන්නේ. අපේ දේශීය දැනුම් පද්ධතිය තුළ තිබෙන, ස්වාභාවික අමුද්‍රව්‍ය පාදක කරගත් පානයක් තරගකාරීව නිපදවන්න තමයි මේ පිරිස කටයුතු කර ඇත්තේ.

මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගත් පානයක්, ඒ වගේම ශක්තිජනක පානයක්. දැනට වෙළඳපොළේ තිබෙන සියලුම කෘත්‍රිම ශක්තිජනක පානවලට වඩා මෙය ශක්තියෙන් අනූනයි. අපේ ජීවන රටාවේ ඇති වෙමින් තිබෙන අවුලට උත්තර සොයන මෙවැනි නිෂ්පාදකයන් තමයි අද අපට ඕනේ. එහෙම නැතිව 'වැල යන අතට මැස්ස ගහන' අය නොවෙයි. මුදිත සමනක්කොඩි මැතිතුමන් ලබාදී ඇත්තේ ඒ ආදර්ශයයි. ඒ ආදර්ශය අපේ සෙසු ව්‍යවසායකයන්ට හා නිෂ්පාදකයන්ට ඉතාම ඉහළින් අගය කළ හැකි ආදර්ශයක්.

දැනට මාස ගණනාවකට කලින් මෙතුමා මේ නිෂ්පාදනයේ සාම්පල අරගෙන අපේ අමාත්‍යාංශයට පැමිණියාම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට අප එකඟ වුණා. එතුමන් සමඟ හවුල්කාරීත්වයකට පිරිසක් එක්ව තිබෙනවා. ඒ පිරිස සමඟ එක්ව කෙටි කලකින් මේ 'නෙල්ලි කෝලා' පානය ජනගත කිරීමට හැකිව තිබීම ඉමහත් සතුටට කාරණාවක්.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද විශේෂ ආරාධිතයකු ලෙස එක්ව සිටි අතර, 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මුදිත සමනක්කොඩි මහතා ද අදහස් දැක්වීය. චින්තන ජයසිංහ, පියුමි සමරක්කොඩි, මන්ද්‍රී සමරක්කොඩි යන එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න