විදෙස් සංචාරකයන් ගෙන්වන්න පස් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනක් | දිනමිණ

විදෙස් සංචාරකයන් ගෙන්වන්න පස් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනක්

මහින්ද අලුත්ගෙදර

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කඩා වැටීමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමේ අරමුණ ඇතිව විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කරයි.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා දැනටමත් උපාය මාර්ගික සංවර්ධන සැලැස්මක් ද සකස් කර තිබෙන බවත්, ඊට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් ද ඇමැතිවරයා පත් කර තිබේ. සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා එම කමිටුවේ සභාපතිවරයා වන අතර, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ මධුභාෂිණි පෙරේරා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන හිරාන් කුරේ (සභාපති සංචාරක උපදේශක සභාව), තිලක් වීරසිංහ (සභාපති - SLAITO), සනත් උක්වත්ත (සභාපති THASL), සමින්ද පෙරේරා (සාමාන්‍යාධිකාරී අලෙවි - ශ්‍රී ලංකා ගුවන්සේවා සමාගම) නිමේෂ් හේරත් (ඇමති සම්බන්ධීකාරක) මහත්ම මහත්මීහු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම ඉහළ පෙලේ කමිටු සාමාජිකයන්ට පත්වීම් ප්‍රදානය කිරීම ඇමැතිවරයාගේ අතින් සිදු වූ අතර, කමිටුවේ පළමු සාකච්ඡාවට ද ඇමැතිවරයා සහභාගී විය.

නව සංචාරක නිපැයුම් සංවර්ධනය බෞද්ධ මංපෙත් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය, සුවතාව හා ආයුර්වේද මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය, චිත්‍ර රූගත කිරීම්, ත්‍රාසජනක ක්‍රීඩා, ජාත්‍යන්තර ක්‍රීඩා තරග හරහා සංචාරක ප්‍රවර්ධනය පාරිසරික සංචාරක ව්‍යාපාරය වැනි විවිධ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන කටයුතු ද ලෝකය පුරා සිදු කිරීමටත් ඒ සඳහා විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩල සහය ලබා ගැනීමටත් මෙහිදි තීරණය කෙරිණි.

 

නව අදහස දක්වන්න