එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව රටක අභ්‍යන්තර පාලන බලයට අතපොවන්න කාටවත් බෑ - ඇමැති වාසුදේව නානායක්කාර | දිනමිණ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව රටක අභ්‍යන්තර පාලන බලයට අතපොවන්න කාටවත් බෑ - ඇමැති වාසුදේව නානායක්කාර

අනුර ප්‍රේමලාල්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව රටක අභ්‍යන්තර පාලන බලයට අතපොවන්න මොනම ජාත්‍යන්තර සංවිධානයකටවත් බැරි බව ඇමැති වාසුදේව නානායක්කාර අවධාරණය කර සිටියි.

ඒ ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) ජල සම්පාදන අමාත්‍යාංශයේ පැවති 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපේ රට සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේ ද කීය.

'බටහිර ජාතීන් ඔවුන්ගේ විවිධ අරමුණු සහ ඩයස්පෝරාවේ පෙළඹවීම් මත මෙරටට විශාල පීඩනයක් මේ වන විට එල්ල කරමින් පවතිනවා. මානව හිමිකම්, වගවීම සහ සංහිඳියාව ආදී කාරණා පදනම් කරගෙන මේ අය අපට විරුද්ධව චෝදනා එල්ල කරනවා. එය කොයිතරම් ආක්‍රමණශීලී දැයි කිවහොත් ඔවුන් අපගේ අභ්‍යන්තර පාලනයටත් ඇඟිලි ගැසීමට තරම් මේ වන විට අයුතු ලෙස බලය යොදාගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැවත ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් යළිත් අවධාරණය කරන්නේ දරුස්මාන් වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව වුවත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඇයට අයිති නැති විෂයයන් ගණනාවක් මෙවර යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෑතදී සිදු වූ පෙරළි සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය පිළිබඳ ඇය අදහස් පළ කරනවා. ලංකාවේ පාලනය ගැන සොයා බලන බලයක් එහෙම නැත්නම් අධීක්ෂණ බලයක් ඇයට නැති බව අප පැහැදිලිව කියා සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්තිය අනුව ඇයට ඒ සඳහා කිසිදු අයිතියක් නොමැති බව දැන ගත යුතුයි.

මේ අය මේ ඉදිරිපත් කරන්නේ සාක්ෂි නැති වාර්තාවක්. කිසිම සාක්ෂියක් නෑ. සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්නේ තවත් අවුරුදු විස්සකින්ලු. සාක්ෂිකරුවන් පෙන්නන්නත් බැරි සාක්ෂිකරුවන්ගේ නම් කියන්නත් බැරි නඩුවකට මොකද වෙන්නේ? සාක්ෂි නැති නඩුවක් වීසි කරනවා හැර මොකක්ද වෙන කරන්න පුළුවන්.

මා දන්නා තරමින් ජාත්‍යන්තරය ගැන නිවැරදි අවබෝධයක් ඇති නායකයන් මෙබඳු පදනම් විරහිත චෝදනා රැසක් පදනම් කර ගත් අභ්‍යන්තර කරුණු ප්‍රතික්ෂේප කරනවා. රටේ හැට නව ලක්ෂයක් දුන් ජන වරමින් සිදු කෙරෙන කටයුතු සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරන්න හැකියාවක් නොමැති බවයි මගේ අදහස. මේ අය ගේන්න හදන යෝජනා මේ රටේ මිත්‍රයන් වන මධ්‍යස්ථ මතදාරී රටවල් නොපිළිගන්නා බව මාගේ විශ්වාසයයි.

නව අදහස දක්වන්න