උසාවිය නිශ්චිත තීරණයක් දෙන තෙක් රන්ජන්ව පාර්ලිමේන්තුවට කැඳවන්න බෑ - කථානායක | දිනමිණ

උසාවිය නිශ්චිත තීරණයක් දෙන තෙක් රන්ජන්ව පාර්ලිමේන්තුවට කැඳවන්න බෑ - කථානායක

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් උසාවිය නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් ඔහු පාර්ලිමේන්තුවට කැඳවීමට නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් උසාවියේදී තර්ක කළ යුතු කරුණා මෙම සභාවේ තර්ක කිරීම සුදුසු නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබෙන්නේ මෝසමක් මිස, අභියාචනයක් නොවන බවත් කිසියම් කෙනෙකුගේ හෝ පාර්ශ්වයක බලපෑමකට යටත්ව රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට තමා කටයුතු නොකරන බවත් කථානායකවරයා පැවසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ පනත සම්බන්ධ කල් තබන ලද නියෝග විවාදයට ගත් අවස්ථාවේ විපක්ෂය ඉදිරිපත් කළ තර්කවලට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - රන්ජන් රාමනායක මහතා නැවත පාර්ලිමේන්තුවට කැඳවන ලෙස මා ඉල්ලීමක් කරනවා. රාමනායක මන්ත්‍රීවරයා ගැන තීන්දුවක් දෙන බව කී, කථානායවරයාගේ වචනය පැහැර හැර තිබෙනවා. සති තුනක් තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කැඳවීම ගැන තීන්දුවක් දෙන බවට මේ සභාවට පොරොන්දුවක් වුණා. එය එතුමා ඉටු කළේ නැහැ. ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් මගේ පෞද්ගලික තරහක් නැහැ. නමුත් ඔහු සහ රන්ජන් රාමනායක මහතා දෙදෙනාම සිටින්නේ සම තත්ත්වයෙන්. මේ දෙදෙනාම සිටින්නේ අභියාචනා ඉදිරිපත් කරලායි. රන්ජන් මහතා අගුණකොළපැලැස්සෙන් වැලිකඩට මාරු කර දෙන ලෙස ඉල්ලා සිටියා. කුඩුකාරයන්ට, මිනීමරුවන්ට, මංකොල්ලකරුවන්ට එරෙහිව තමයි රන්ජන් කතා කළේ. කුඩුකාරයන්, මීනීමරුවන් මධ්‍යයේ තමයි අද ඔහු සිටින්නේ. ඒ නිසා ඔහුට ජීවිතය ගැන තර්ජනයක් තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ඔබතුමාගේ වැඩක්. රන්ජන් හෙට දිනයේ පාර්ලිමේන්තුවට ගෙන එන්න. ඔහු වැලිකඩට මාරු කර දෙන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (පො.ජ.පෙ.) - විපක්ෂ නායකවරයාත්, ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් නිතරම මගේ නම කියනවා. තලතා අතුකෝරල හිටපු අධිකරණ ඇමැතිවරිය අපට අසාධාරණයක් කළා. ඒ ගැන රෙකෝඩින් මා සතුව තිබෙනවා. අභියාචනයක් දැමීමෙන් පසුව තමයි මට පාර්ලිමේන්තු එන්න අවසර ලැබුණේ. රන්ජන් මන්ත්‍රීවරයාට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියාචනයට ලක් කළ හැකිද කියන එක ගැන ගැටලුවක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා -එතුමා සිටින්නෙත් අභියාචනයක් ඉදිරිපත් කරල කියා එතුමාම කියනවා. රන්ජන් මහතාත් එහෙමයි. ඒ තියෙද්දි තමයි රන්ජන් මහතා ගෙන්වන්නේ නැත්තේ. තලතා අතුකෝරල මහත්මිය සම්බන්ධයෙන් බොරු චෝදනාවක් ප්‍රේමලාල් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරනවා. එතුමා ළඟ රෙකෝඩින් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.

කථානායකවරයා - ඔබතුමාගේ සියලු චෝදනා මම අසා සිටියා. ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් දිවුරුම් දෙන වෙලාවේ කැඳවූවේ නැහැ. දෙවැනි, තුන්වැනි අවස්ථාවලදීත් කැඳවූවේ නැහැ. ඒ සතියේම කැඳවූවේ නැහැ. නීතිමය උපදෙස් ලබාගෙන තමයි කැඳවන්න වුණේ. එතුමාගේ ඥාතීන් ඇවිල්ලා මාව හමු වුණා. උසාවි නියෝගයක් ගන්න කියා අප කිව්වා. ඒ නියෝගය ගැනීමෙන් පසුව තමයි ඔහු කැඳවූවේ.

සජිත් ප්‍රේමදාස මහතා - රන්ජන් රාමනායක මහතා ගැන අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු ලේකම්වරයාට පැහැදිලි නියෝගයක් එවා තිබෙනවා. එය ක්‍රියාත්මක කරන්න.

කතානායකවරයා- රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට වසර හතරක දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදීමට තීන්දු කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකියි.

සජිත් ප්‍රේමදාස මහතා -මන්ත්‍රීවරුන් දෙදෙනකුට දෙආකාරයට සලකනවා.

කථානායකවරයා- ඒක වැරදියි. එහෙම දෙයක් නැහැ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන් රාමනායක මහතාගේ අභියාචනය පිළිගත්තා.

කථානායකවරයා- ශ්‍රේෂ්ඨාධිකරණය මෝෂන් එකක් පිළිගෙන තිබෙනවා. නමුත් අභියාචනයක් පිළිගෙන නැහැ. ඒ නිසා ඔබතුමා වැරදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා (ස.ජ.බ.)- පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියා අප අපේක්ෂා කළා.

පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා (ස.ජ.බ.)-ඔබතුමාගේ කටෙන් වචනයක් පිට වුණා පිස්සෙක් කියා. එය ඉල්ලා අස් කර ගන්න කියා මා කියනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් අසමත් අය කවුද කියා කියන්න.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා - පාස්කු වාර්තාව කැබිනට් එකට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න විපක්ෂයට කිසිදු සදාචාරයක් නැහැ. සාමාන්‍ය පෙළ අසමත් හරීන් ප්‍රනාන්දු මහතා මේ ගැන කතා කරනවා.

හරීන් ප්‍රනාන්දු මහතා - මගේ අධ්‍යාපන සුදුසුකම් හෙට සභාගත කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (පො.ජ.පෙ.) - පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තිබෙනවා. එස්.බී. දිසානායක මහතා අධිකරණයට අභියෝග කර සිරගත වුණා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (ස.ජ.බ.) -බයිබලයයි රන්ජනුයි එකට ගාවන්න එපා. පාස්කු වාර්තාවයි අප ඉල්ලන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා (ස.ජ.බ.) - පාර්ලිමේන්තුවේ 225ට සාධාරණයක් කථානායවරයා ඉටු කරයි කියා මා හිතනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (පො.ජ.පෙ.) - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසුව ඊට එහා අභියාචනයක් කළ නොහැකියි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (ස.ජ.බ.) - රන්ජන් මහතාගේ මන්ත්‍රීකම ආරක්ෂා කර ගැනීමට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු පාර්ලිමේන්තුවට කැඳවීමට බලය තිබෙන්නේ ඔබතුමාටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (ස.ජ.බ.) -උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් මහතාට දුන් තීන්දුව අසාධාරණයි කියලා අපි හිතනවා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට නීති කෙටුම්පතක් මා බාර දී තිබෙනවා. ඒ ගැන සලකා බලන්න

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - මැණික් හා ස්වර්ණාභරණ පනත සම්බන්ධයෙන් කල් තබන ලද නියෝග විවාදය වෙනත් දිනකට කල් තබන ලෙස ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුව අද (24) උදෑසන 10ට යලි රැස් වෙයි.

නව අදහස දක්වන්න