භාණ්ඩ විසිහතක මිල අඩු කළාට සතොසට කිසිම පාඩුවක් නැහැ - වෙළෙඳ අමාත්‍ය | දිනමිණ

භාණ්ඩ විසිහතක මිල අඩු කළාට සතොසට කිසිම පාඩුවක් නැහැ - වෙළෙඳ අමාත්‍ය

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

භාණ්ඩ විසිහතක මිල වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුකිරීමට රජය කටයුතු කර ඇත්තේ සතොසට කිසිම පාඩුවක් සිදු නොවන පරිදි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය.

සතොස විනාශ කරමින් කාබාසිනියා කළ පිරිස සතොස පිළිබඳ මෙලෙස විවිධ අවලාද නැඟීම විහිළු සහගත බවද ඇමැතිවරයා පැවසීය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

අප භාණ්ඩ වර්ග විසිහතක මිල වෙළෙදපොළේ පවතින මිලට වඩා අඩුකර සතොසට විශාල අලාභයක් සිදු කර ඇති බවට විපක්ෂය විශාල ප්‍රචාරයක් ගෙන යනවා. පසුගිය දිනවල මේ චෝදනාව දිගින් දිගටම එල්ල කළා. සතොසට කිසිම අලාභයක් නොවන ආකාරයටයි මේ භාණ්ඩ මිල අඩුකර තිබෙන්නේ . සතොස විනාශ කර, සතොස කාබාසිනියා කර තිබෙන්නේ පසුගිය පාලන කාලයේ දීයි. යහපාලන රජයේ වෙළෙඳ ඇමැති රිෂාඩ් බදියුදින් මහතාගේ වකවානුවේදී විශාල වශයෙන් සතොස විනාශ වුණා. එම කාල සීමාවේදී විවිධ වංචා, දූෂණ , අක්‍රමිකතා හේතුවෙන් සතොස බරපතළ ලෙස විනාශ වුණා. 2015 දී සතොස අලාභය බිලියන 1.9යි. 2016 වසරේදී අලාභය බිලියන 5.1යි. 2017 වසරේදී අලාභය බිලියන 2.7යි.

2018, 2019 වසරවලත් විශාල ලෙස පාඩු ලබා තිබෙනවා. එම පාඩුව 1.3 දක්වා 2020දී අඩුකර ගැනීමට අප සමත් වී තිබෙනවා. ඒ අනුව බිලියන විස්සකට වඩා සතොසට පාඩු කර, සැපයුම්කරුවන් වෙනුවෙන් කෝටි අටකට වඩා විශාල මුදලක් ගෙවීමට තිබෙනවා. බිලියන විසිඅටක් විතර සතොසට පාඩු කරපු උදවිය අද සතොස ගැන කතා කරනවා.

නව අදහස දක්වන්න