ඒකාධිකාරයත් - සමානාත්මතාවත් භික්‍ෂුණී ශාසනය නැංවීමට ඇති බාධාවක් | දිනමිණ

ඒකාධිකාරයත් - සමානාත්මතාවත් භික්‍ෂුණී ශාසනය නැංවීමට ඇති බාධාවක්

බුදුරජාණන් වහන්සේගේ කිරි මව වන මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා පන්සියයක් ශාක්‍ය කුමාරිකාවන් බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලා සිටිය ද, බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම්වලට මුල දී යම් අකමැත්තක් දැක්වුවත් පසුව අෂ්ඨගරු ධර්ම පිළි ගැනීමට කැමති වූ නිසා කාන්තාවන්ට පැවිදි උපසම්පදාව පිරිනැමූහ.

ඉන් පසුව ඉන්දියාවේ භික්‍ෂුණී ශාසනය ව්‍යාප්ත වූ අතර, ධර්මාශෝක රජ සමයේ දී ඉන්දියාවෙන් ධර්මාශෝක රජතුමාගේ පුත් මහා මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස (ක්‍රි. පූ.(250-210) ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දුන්හ- එවකට ශ්‍රී ලංකාව පාලනය කළේ දේවානම්පියතිස්ස රජුය.

මහින්ද මහ රහතන් වහන්සේ සොහොයුරිය සංඝමිත්තා තෙරණිය භික්‍ෂුණී ශාසනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්හ. අනුලා බිසව ඇතුළු 500ක් කාන්තාවන් භික්‍ෂුණී ශාසනයට ඇතුළත් වූහ. එවක පටන් වර්ෂ 1200කට ආසන්න කාලයක් ලක්දිව භික්‍ෂුණී ශාසනය ප්‍රචලිතව පැවැති අතර අනුරාධපුර රාජධානිය කඩාවැටීමත් සමඟ 1017 දී සිදු වූ චෝල අක්‍රමණයත් භික්‍ෂුණී ශාසනය කඩා වැටී අක්‍රීය වී යෑමට හේතු විය.

එහෙත් ශ්‍රී ලංකාවෙන් භික්‍ෂුණී ශාසනය අතුරුදහන්වීමට ප්‍රථම ක්‍රි-ව- 429 දී ශ්‍රී ලාංකික දේවසරා භික්‍ෂුණිය ඇතුළු භික්‍ෂුණීන් පිරිසක් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ද සහිතව චීනයට ගොස් එහි භික්‍ෂුණි ශාසනය පිහිටු වූහ. චීනයේ ස්ථාපිත වූ ථෙරවාදී භික්‍ෂුණි ශාසනය චීනයෙන් ජපානයට, එතනින් කොරියාවට, වියට්නාමය හා තායිවානයට ව්‍යාප්ත විය. එහෙත් ශ්‍රී ලංකාවෙන් අතුරුදන් වූ භික්‍ෂුණී ශාසනය 1815 දී ඉංග්‍රීසින් ශ්‍රී ලංකාව යටත් කරගන්නා තුරුම නැවත ගොඩනඟාගැනීමට නොහැකි විය. ශ්‍රීමත් අනගාරික ධර්පාලතුමා භික්‍ෂුණී ශාසනය නඟාසිටුවීමට ප්‍රයත්නයක් කළ අතර ඒ සඳහා ඩාර්ලි පාරේ මෙහෙණි ආරාමයක් ද අරම්භ කළහ. නමුත් එය ඵල දැරුවේ නැත. කැතරින් ද සිල්වා මහත්මිය බුරුම රටට ගොස් සිල් මාතාවක් බවට පත් වී 1903 දී ශ්‍රී ලංකාවට පැමිණ දස සිල් මාතා ආරාම ආරම්භ කළහ. එතැන් සිට දස සිල් මාතාවන් ලෙස හෝ සාමණේරී භික්‍ෂුණීන් ලෙස ඔවුන් බුදු සසුනේ භික්‍ෂුණී ශාසනයේ නියෝජනය පවත්වා ගෙන ගියහ.

බුදු සසුනේ සිව්වනක් පිරිස අතරින් භික්‍ෂුණී ශාසනය නියෝජනය කිරීමට දස සිල් මාතා හා සාමණේරී භීක්‍ෂුණී සමුහයේ දායකත්වය ප්‍රමාණවත් නොවේ. භික්‍ෂුණී සාසනය නැවත අරම්භ කිරීමට ප්‍රභූන් විවිධ උත්සහයන් ගත්තද, ඒවා අසාර්ථක විණි.

1996 දී පමණ ඉන්දියාවේ සාරානාත් විහාරයේ දී භික්‍ෂුණී ශාසනය නැවත දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ භික්‍ෂුණීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ආචාර්යයත්වයෙන් කුසුමා දස සිල් මාතාව ඇතුළු දස සිල් මාතාවන් කණ්ඩායමක් උපසම්පදාව ගැබූහ. නැවත වරක් රන්ගිරි දඹුල්ල රජ මහ විහාරයේ දී උපසම්පදාව ලැබූ එම කණ්ඩායම ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා ඉදිරිපිට උපසම්පදාව ශ්‍රී ලංකාවේ දී සිදු කළහ. ඒ අනුව භික්‍ෂුණී ශාසනය ශ්‍රී ලංකාවේ නැවත ස්ථාපනය වූයේ යැයි සැලකේ.

වර්තමානය වන විට භික්‍ෂුණී ශාසනයට ඇතුළත්ව උපසම්පදාව ලබා ඇති භික්‍ෂුණී පිරිස සංඛ්‍යාවෙන් 2000 ඉක්මවා ඇත. සාමනේරී භික්‍ෂුණීන් ඇතුළු 3000කට අධික පිරිසක් භික්‍ෂුණී ශාසනයේ වෙති.

දුර්මත දුරු කොට යහපත් ආකල්ප ගොඩනැඟීමටත් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට පොදු ජනතාවගේ

සහයෝගය සලස්වාදීමත් මෙම ලිපියේ අරමුණයි.

1889 අංක 03 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත විවිධ අවස්ථාවල සංශෝධනයට ලක් වූ අතර, දැනට ද බෞද්ධ විහාර දේවාලගම් පනත බලාත්මක නිතීයකි. එම පනත සකස් කළ කාලය වන විට භික්‍ෂුණී ආරාම නොපැවැති අතර, එම පනතේ භික්‍ෂුණී ආරාම ලියාපදිංචියට අවශ්‍ය ප්‍රතිපාදන නොමැත. එබැවින් භික්‍ෂුණීන් වහන්සේලාගේ ආරාම ලියාපදිංචිය සිදු කිරීම ද අපහසුය. එම නිසා භික්‍ෂුණීන් වහන්සේලාට තමන්ගේ ආරාම සඳහා විමධ්‍යගත ආධාර ලබා ගැනීමට ද නොහැකිය. සාමණේරී භික්‍ෂුණීන් ලියාපදිංචි සහතික හා උපසම්පදා භික්‍ෂුණීන් ලියාපදිංචි සහතිකයන් නොමැති නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ජාතික හැඳුනුම් පත ද ලබා ගැනීමට නොහැකි වී ඇත. ඒ නිසාම භික්‍ෂුණීන් වහන්සේලාගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුළත් කළ නොහැකිය. ජාතික හැඳුනුම්පත නොමැති නිසා විවිධ ආයතනවලදී අතිශය අපහසුතාවට පත් වෙති.

එසේම සාමණේරී භික්‍ෂුණීන් වහන්සේලා රජයේ විභාගවලට පෙනී සිටීමට, රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට අතුළුවීමට ද නොහැක. එමෙන් ම ත්‍රස්තවාදය හිස ඔසවා ඇති මෙවන් අවදියක එවැනි කලබලයක් පවතින තැනකින් හදිස්සියේවත් ගමන් කරන්න සිදුවුවහොත් පොලිස් නිලධාරියෙක් හෝ හමුදා නිලධාරියෙක් ජාතික හැඳුනුම්පත ලබාදෙන ලෙස ඉල්ලා සිටියහොත් භික්‍ෂුණීන් වහන්සේලා එම නිලධාරීන්ට ලබාදිය යුත්තේ කුමක් ද?.

තවද ජාතික හැඳුනුම් පත නොමැති නිසා බැංකුවක බැංකු ගිණුමක් ආරම්භ කිරීමට ද නොහැක. එම අවශ්‍යතාව දැඩිව දැනෙන්නේ ආරාම ඉදිකර ගැනීමට ආධාර මුදල් රැස්කර ගැනීමේදී හා එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමේදීය. භික්‍ෂුණීන් වහන්සේලාට ජාතික හැඳුනුම්පත ලබා නොදෙන නිසා ශ්‍රි ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ජාතික ගුවන් ගමන් බල පත්‍රය ද ලබා ගැනීමට ද නොහැක. එබැවින් යම් භික්‍ෂුණීන් වහන්සේ නමකට විදේශ ගතවීමට අවශ්‍ය වූ විට එම භික්‍ෂුණීන් වහන්සේලා තමන්ගේ ගිහි නමින් ජාතික ගුවන් ගමන් බල පත්‍රයක් ලබා ගත යුතුය. එසේ නැතහොත් විදේශ ගතවීමට නොහැක. එය බෞද්ධ රටක සිදු නොවිය යුත්තකි.

භික්‍ෂුණීන් වහන්සේලා වෙනුවෙන් පවත්වා ගෙන යන සාමණේරී පුහුණු ආයතන සඳහා භික්‍ෂුණීන් වහන්සේලා පුහුණු කිරීමට පිරිවෙන් වැනි ප්‍රමාණවත් අධ්‍යාපන ආයතන නොමැති අතර, ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් රජයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයෙන් යොමු වී ඇති බවක් නොපෙනේ. සුබ දායක ප්‍රවෘත්තියක් ලෙස මෙහි සටහන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ තනතුරක් භික්‍ෂුණීන් වහන්සේ නමකට ලැබී තිබීමයි.

භික්‍ෂුණීන් වහන්සේලා කෙරෙහි දක්වන සමාජ ආකල්ප ද වෙනස් විය යුතුය. බස් රථයේ දී, දුම්රියේ දී අසුන් වෙන් විය යුතු අතර, රෝහල් වල භික්‍ෂු ගිලන් වාට්ටු පැවතිය ද භික්‍ෂුණීන් වහන්සේලා උදෙසා ගිලන් වාට්ටු වෙන් කර නැත. එම නිසා භික්‍ෂුණීන් වහන්සේලා උදෙසා ගිලන් වාට්ටු වෙන් කළ යුතුය.

සිල්මාතා හෝ භික්‍ෂුණී හෝ කිසිදු මෙහෙණි ආරාමයක් බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට අයත් වන්නේ නැත. එබැවින් සියලු මෙහෙණි ආරාම අයත්වන්නේ පුද්ගලික දේපළක් ගෙසය. එම නිසා සිවිල් නීතිය යටතේ මෙහෙණි ආරාම ක්‍රියාත්මක වේ. මෙහෙණි ආරාම සාංගික දේපළක් ලෙස නොසලකයි. එම නිසා භික්‍ෂුණීන් වහන්සේලාට අයත් දේපළ බදුවලින් නිදහස් නොවන අතරම, විශේෂයෙන් ඉඩකඩම්වල හිමිකාරීත්වයේ දී යම් ඉඩමක් පූජා කරන පිරිසක් වෙත්නම් එම අයගේ උරුමය මෙහෙණින් වහන්සේලාගේ උරුමයට වඩා බලවත් වේ. මෙහෙණි ආරාම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ ද එය හුදු නාම මාත්‍රිකව පමණි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා අනිකුත් අණපනත්වලින් තහවුරු කර ඇති අයිතිවාසිකම් භික්‍ෂුණීන්ට ද ලබාදීමට සියලු රාජ්‍යය ආයතන ක්‍රියා කළ යුතුය.

බැරගම පියරතන ස්ථවිර 
නීතිවේදී ශාස්ත්‍රපති අධ්‍යාපන ඩිප්ලෝමා.

නව අදහස දක්වන්න