මානව හිම්කම් පිළිබද මහ කොමසාරිස් විශේෂ වාර්තාව අද | දිනමිණ

මානව හිම්කම් පිළිබද මහ කොමසාරිස් විශේෂ වාර්තාව අද

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9කට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් සකස් කළ විශේෂ වාර්තාව අද (24) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අදාළ වාර්තාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (24) රාත්‍රී 7.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචෙලේගේ වාර්ෂික වාර්තාවට විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (24) දිනයේ ම පිළිතුරු දීමට නියමිතව තිබෙන අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී කරුණු දැක්වීමට ද නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී පෙරේදා (22) ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සම අනුග්‍රහය දැක්වූ රටවල් 06 ක් සකස් කළ විශේෂ යෝජනාවලියක් ද භාර දීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පත්කර ඇති මධ්‍ය කණ්ඩායමට අයත් එම රටවල් වන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි රාජ්‍යයයි. කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ මෙරට ප්‍රතිපත්තිය, එම රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනා අතර ප්‍රමුඛ වන බවයි වාර්තා වෙයි.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ සිදු කල සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත්කම මෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකුලව පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම ද සෙසු යෝජනා අතරට අයත් බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නව අදහස දක්වන්න