වී කිලෝවට පෞද්ගලික අංශය දෙන මිලට සමාන්තර තරගකාරි මිලක් ගෙවීමට රජය සූදානම් - ජනමාධ්‍ය ඇමැති | දිනමිණ

වී කිලෝවට පෞද්ගලික අංශය දෙන මිලට සමාන්තර තරගකාරි මිලක් ගෙවීමට රජය සූදානම් - ජනමාධ්‍ය ඇමැති

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශය දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

මෙසේ ඉහළ සහතික මිලක් ගොවීන්ට ලබා දුන්නද පාරිභෝගිකයන්ව අපහසුතාවයට පත් කිරීමට වෙළෙන්දන්ට රජය ඉඩ නොතබන බවද පාරිභෝගිකයාට රුපියල් 98 කට සහල් කිලෝවක් ලබා දෙන්නට රජය සූදානම් බව ද ඇමැතිවරයා අවධාරණය කරයි. ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් කීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කෙළේය.

එහිදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධව නැගූ ප්‍රශ්නවලට පිළීතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද කීය.

'වී මිලදී ගැනීම පසුගිය කාලයේ ඉතා සංකීර්ණ ප්‍රශ්නයක් වුණා.පසුගිය කාලයේ ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගත්තේ රුපියල් 14, රුපියල් 16,20 සහ රුපියල් 26 ආදී වශයෙන් .අප රජය පත්වන විට වී මිලදී ගැනීම සිදු වුනේ කිලෝවක් රුපියල් 30 ක් වැනි මුදලකටයි.1948 සිට පවතින මතය වන්නේ ගොවියා රජකළ යුතුය යන්නයි. මේ රටේ කෘෂීකර්මය ආරක්ෂා කර ගොවියාට ආර්ථික වශයෙන් වටිනාකමක් දිය යුතු කියා මතයක් තිබුණා.නමුත් එය සිදු වූයේ නැහැ පැවැති කිසිම රජයකින්.අපට ඒ අතීතය අමතක නැහැ. ගොවීන් වස බිව්වා ණය තුරුස් ගෙවා ගන්න බැරිව.ඉතා කටුක අමිහිරි අතීතයක් අපට ඒ ගැන තිබෙන්නේ.

ඒ නිසා ගොවියා රජ කරවන ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කරන පුද්ගලයකු බවට පත් කිරීමයි වත්මන් රජයේ පරමාර්ථය. මේ සඳහා එක් පියවරක් ලෙස වී කිලෝවක් රුපියල් 50 කට ගොවියාගෙන් මිලදී ගන්නට රජය පියවර ගෙන තිබෙනවා.ගොවියා මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත් ගොවියා ට ආර්ථික වශයෙන් වටිනාකමක් දීමත් රජයේ වගකීමක්.

පොහොර සහනාධාරය ලබා දී ජල සම්පාදනය ඇතුළු අනෙක් පහසුකම් ලබා දී ගොවියාගේ වී අස්වැන්න සඳහා රජය රුපියල් 50 ක සහතික මිලක්ලබා දී තිබෙනවා. ඇතැම් විට පෞද්ගලික අංශය මේ මිලට තරලකාරී මිලක් ඉදිරිපත් කරයි.ඇතැම්විට ඔවුන් රුපියල් 51-53 අතර මිලකට වී කිලෝවක් මිලදී ගනීවි. අපත් මේ සම්බන්ධනව අභියේගය භාර ගන්න සුදානම්. වී කිලෝවක් සඳහා රුපියල් 50 ට වඩා සහතික මිලක් පෞද්ගලික අංශය දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් දෙන්නට සූදානම්.

නව අදහස දක්වන්න