ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස සියලු මිත්‍ර රටවලින් ඉල්ලා සිටිනවා | දිනමිණ

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස සියලු මිත්‍ර රටවලින් ඉල්ලා සිටිනවා

මහින්ද අලුත්ගෙදර

මානව හිමිකම් කවුන්සලය සහ එහි යාන්ත්‍රණය සමඟ සහයෝගිත්වය පිළිබඳ හැඟීම තිබිය දී වුවද ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන කොටස් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල වාර්තාව පදනම් කරගෙන තනි රටක් ඉලක්ක කරගත් තවත් යෝජනාවක් සභාගත කිරීමට අදහස් කිරීම කනගාටුදායක බව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.

ආත්ම ගරුත්වය ඇති ඕනෑම රටක අවශ්‍යයයෙන්ම අභ්‍යන්තරික වන කරුණු හා පාලනය පිළිබඳ බොහෝ කාරණා ඇතුළත් කරමින් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්සේප කරන ලද මේ වාර්තාව, සාධාරණීකරණය කළ නොහැකි පරිදි සිය විෂය පථය මෙන්ම පැවරී ඇති කාර්යය ද තවදුරටත් පුළුල් කර තිබෙන බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (23) රාත්‍රී 9.15 ට පමණ විදේශ ඇමැතිවරයා මානව හිමිකම් සමුළුව ඇමතූ අතර මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන ප්‍රගතිය, ඒ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මෙන්ම වත්මන් රජයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී මානව හිමිකම් කවුන්සලය දැනුවත් කෙරිණි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ කොළඹ සිට සමුළුව ඇමතූ අතර සාමාජික රටවල නියෝජිතයන් ජිනීවා නුවරට රැස්නොවී මානව හිමිකම් සමුළුව පවත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ පසුගිය 2009 දී ශ්‍රී ලංකා රජයේ හමුදාවන් කටයුතු කළේ ලෝකයේ කෘරතම බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යයත්, ස්වෛරීත්වයත් හා භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කිරීම පෙරදැරිකරගෙන බවත් ලෝක නායකයන් දෙදෙනෙකු ඝාතනය කළ ලොව එකම ත්‍රස්ත සංවිධානය එල්.ටී.ටී.ඊ සංවිධානය බවත්ය.

නව අදහස දක්වන්න