දෙමළ ජාතික සභාවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ සහාය නෑ | දිනමිණ

දෙමළ ජාතික සභාවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ සහාය නෑ

දෙමළ පක්ෂ එකතු කොට පිහිටුවීමට යන දෙමළ ජාතික සභාවට දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) කිසිවිටකත් සහය ලබා නොදෙන බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා 22 දා යාපනයේදී පැවැසීය.

මේ මස 26 වැනිදා වවුනියාවේදී පිහිටුවීමට නියමිත දෙමළ ජාතික සභාව සදහා තම පක්ෂයටද ආරාධනා ඇතත් මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට යාපනයේදී පැවති මූලික සාකච්ඡාවට හෝ දෙමළ ජාතික ජනතා පෙරමුණ සහභාගී නොවූයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පස් දෙනෙකුගේ වැරදි ක්‍රියා කලාපය නිසා බව ද පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සටන පාවා දුන් පුද්ගලයෙකු බව දෙමළ ජාතික ජනතා පෙරමුණ එදා සිට මේ දක්වාම ප්‍රකාශ කරන නමුත් දෙමළ ජාතික සන්ධානය එම කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා ඔවුන් සමග එකට එක්ව දෙමළ ජාතික සභාවක් පිහිටුවීමට තම පක්ෂය සූදානම් නැති බව ද සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පැවැසීය. සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයා වූවත් ඔහු උත්සහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා බවටද ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා චෝදනා කෙළේය.

යම් හෙයකින් මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී දෙමළ ජනතාව වෙණුවෙන් ඉතා දුර්වල ප්‍රකාශනයක් එළි දැක්වුවහොත් ඊට දෙමළ ජාතික සන්ධානයේ පාවා දෙන මන්ත්‍රීවරු පස් දෙනා සම්පූර්ණයෙන්ම වග කිවයුතුව ඇතැයි ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න