ජනපති හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් | දිනමිණ

ජනපති හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ දී පැවැත්විණි.
 
 සම්මේලනයට අයත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ප්‍රගතිශීලි රාජ්‍ය සේවක සම්මේලනය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය, පළාත් පාලන ප්‍රගතිශීලි සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා පොදුජන වතු සේවක සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ හමුවට සහභාගී වූහ.
 
“රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය සේවයේ, සංස්ථාවල සහ මණ්ඩලවල දිගු කලක් තිස්සේ නොවිසඳී විශාල අවුලක් බවට පත්ව ඇති ගැටළු රැසක් තිබෙනවා. වැටුප් සහ උසස්වීම් විසමතා, බඳවා ගැනීමේ පරිපාටියේ අවුල් ඉන් කිහිපයක්. සේවකයන් වෙනුවෙන් මේ ගැටළු විසඳීමට රජය කැපවී සිටිනවා. ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව. අප ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු  කිරීමට රජයට උදව් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ කියා සිටියේය.
 
හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරුවන් වෙනුවෙන් සටන් කරමින් ඉල්ලීම් ජයගත් නායකයකු බව සඳහන් කළ ජනාධිපතිතුමා තම රජය අනුගමනය කරන්නේ ද එකී පිළිවෙතම බවත්, වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳීමට හැම විටම සූදානම් බවත් ප්‍රකාශ කරයි.
 
වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති සමග සමගියෙන් වැඩකරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත්, එහි යම් අඩුවක් තිබේනම් ඉදිරි කාලයේ නිවැරදි කරන බවත් සඳහන් කළේය.
 
රාජ්‍ය ආයතන තුළ හා සේවාවන්හි වෘත්තීය සාමය ඇති කිරිමට රජය සමත් වූ බව කී ප්‍රගතිශීලි වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සෑම සංස්ථාවකටම කම්කරු අධ්‍යක්ෂවරයෙක් “Worker Director” පත් කරන්නැයි ජනාධිපතිතුමාට යෝජනා කළේය.
 
දින 180ක සේවා කාලය සම්පූර්ණ කළද තවමත් ස්ථීර පත්වීම් ලැබී නැති පිරිස් පළාත් පාලන ආයතනවල සිටින බව වෘත්තීය සමිති නියෝජිතයෙක් සඳහන් කළ විට පළාත් පාලන ආයතනවලට බරක් නොවන අයුරින් එවැනි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
දිලුම් අමුණුගම, කංචන විජේසේකර, ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරු, සාගර කාරියවසම්,ජගත් කුමාර, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.
 
 

නව අදහස දක්වන්න