වල් ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල් | දිනමිණ

වල් ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්

වනය පාට කරන්නේ කව්රුන්දැයි මගෙන් අසන්නේ නම් මා නොබියවම කියන්නේ ඒ නම් කුරුල්ලන් බවයි. මොහොතක් හෝ නිසොල්මන්ව නොසිට ඔවුන් කරනා කියනා දෑ වනපෙත සජීවී බවින් පුරවන්නට බොහෝ සේ ඉවහල් වෙනවා. ප්‍රමාණයෙන් පුංචි වුණත් මෙයාලා අපේ ජිවිතවලට කියා දෙන්නේ කදිම පාඩම්. සමගි වන්න, තම දරු පවුල රකින්න වෙහෙසෙන්න, ස්වකීය ළබැඳියාට අසිමිතව ආලය කරන්න, අඹු දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ප්‍රාණය වුණත් පුදන්න. මේ ලොව සොඳුරුම ඒකකයක් වෙන්නේ පුංචි පවුලයි, ආදි වශයෙන් නානා ප්‍රකාර වු උගත යුතු බොහෝ පාඩම් මේ විහඟ සමාජය සතුයි. සිරිලක සොඳුරු වන උයන් අතරේ සීතලට නිබදවම පෙම් කරනා මහඑළි තැනිතලාව, නැතිනම් කව්රුත් දන්න හෝර්ටන් තැන්න කුරුල්ලන්ගේ කදිම නිජබිමක් සේ මා කියතොත් ඇතැමෙක් පුදුම වනු ඇති. මොකද හෝර්ටන් තැන්න කියන්නේ ලෝකාන්තය, පුංචි ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, චිමිනි ඇල්ල ආදි වුණු සොදුරු පාරිසරික ස්ථානයන් නරඹන්න සංචාරකයන් පැමිණෙන තැනැක්.

ඉන් ඔබ්බට ගිය වැදගත්කමක් මේ අපූර්ව වු ජෛව විද්‍යාගාරය සතුයි. වනපෙත් වෙත ජීවයේ සුසුම් පොද පිඹින විහඟ සමාජයේ හෝර්ටන්තැන්න පාර්ශ්වය නියෝජනය කරන කුරුලු සාමාජිකයින්ගේ වග තුග හොයන්නත් එක්ක අපි පහු ගිය දවසක ගියා හෝර්ටන් තැනිතලාව පැත්තේ. එහිදි හමු වුණු කුරුලු මිතුරන් අතරේත් ඉතාමත් දුර්ලභ විශේෂයන් කිහිපයක්ම දැක බලා ගන්නත්, එයාලාගේ වත - ගොත හදාරන්න විතරක් නෙමෙයි එයාලා ගැන ඉගෙන ගත්තු දේවල් පැලැස්සට ගොඩ වෙලා ඔයාලත් එක්ක බෙදා හදා ගන්නත් අපිට හැකි වීම සතුටට කරුණක්. මොකද මේ ලිපිය කියවපු, අනෙක් දවසේ හෝර්ටන් තැන්න බලන්න යන ඔයාලත් හෝර්ටන් විහඟ මිතුරන් ගැන විපරම් කරන්න අමතක කරන්නේ නැති බව මම දන්නවා.

විහඟුන්ගේ පරිණාමය වර්තමානයේදී විචිත්‍රවත් වූ පරිණාමිතයක් කරා සමීප වීම කියන පණිවුඩය අපට ඒත්තු ගන්වන්නේ විසල් වු විහඟ සමාජයක් මේ ලොව පුරා සැරිසරන බවයි. ඒ පරිණාමිතයට කදිම නිදසුනක් විදියට ශ්‍රි ලංකාවට ආවේණිකව ජීවත්වන විහඟ කැල විශේෂයෙන් හුවා දැක්විය හැකියි. ලොව පුරා සෙව්වත් මේ පුංචි විහඟ මිතුරන් හමු වෙන්නේ මේ පුංචි දූපතින් විතරයි. ඒ කියන්නේ ජෛව විවිධත්වයකින් අනූන රටක් වශයෙන් මේ සම්බන්ධයෙන් අපි ආඩම්බර විය යුතුයි. හොර්ටන් ආපු ගමනේදි අපිට අපූර්ව විහග මිතුරෙක්, හරිම දුර්ලභ විහග මිතුරෙක් හිතේ හැටියට දැක බලා ගන්න හැකි වුණා. එයා නමින් හබන් කුකුළා. හමු වුණේ කිරිගල්පොත්ත ස්වාභාවික මංපෙත ආශ්‍රිතවයි. හරියටම කියනවා නම් කිරිගල්පොත්ත නගින්න ඔන්න මෙන්න කියලා හම්බවෙන කැලෑ තීරුවේ තමයි මෙයා හදි ගැහුණේ. ඉතින් අදට අපි මෙයා ගැනත්, මෙයාගේ නොදත් කථා ගැනත් අහලා ඉමු. මොකද අපි ගොඩාක්ම දන්නේ නොදන්න ඒවානේ. ඒ හින්දා ඒ නොදන්න වැදගත් දේ හරියට හදාරමු. මිනිස් ඇසුරින් වහන් වී වනාන්තර තුළටම වෙලා සිටින මේ අහිංසකයාගේ ජීවන කතන්දරය හරිමු අපූරුයි. මඳකට හෝ විමසා බැලීම අගෙයි. වනාන්තරයට ආදරය කරන එතුළ සරන්නවුන් පිළිබඳවත් දැනුම්වත් වීම පරිසර සංරක්ෂණයේ නාමයෙන් ඉටු කළ යුතු යුතුකමක් සහ වගකීමක්.

සැවුල් කුලයට අයත් මොහු ඉංග්‍රීසි බසින් ශ්‍රී ලංකා ස්ෆර් ෆවුල් වශයෙන් තමයි හඳුන්වන්නේ. පක්ෂී ලොවේ ‘සැඟවී ජීවත් වන ලජ්ජාකාරයා’ වශයෙන් පට බැඳි නමකුත් මෙයාට හිමියි. කුකුළාගේ පයේ තියුණු වූ පොරකටු දෙක බැගින් පිහිටනවා. ගෘහාශ්‍රිතව ජීවත් වන මධ්‍යම ප්‍රමාණයේ ගම් කිකිළියකගේ තරමට ලොකුයි. සිරුරේ ඇති ගෝපක වර්ණ රටාව නිසාවෙන් වනයේ ඇති අතුරු අන්තරාවන්ගෙන් සැඟවී දිවි රැක ගැනීම පහසුවක්.

වනාන්තරයේ අඳුරු ලැහැබ් සහිත බිම් මට්ටමේ හැසිරීමට කැමතියි. රාත්‍රියට ලැගීමට විතරක් කුඩා ගසක අතු - ඉති මතට පියාඹනවා. ඒ හැරුණාම දවසේ ඉතිරි කාලය ගෙවන්නේ බිම් මට්ටමේයි. භූමිවාසීව යි. වන බිමේ විසිරී පැතිරුණ කොළ රොඩු, දිරා ගිය ශාක කොටස් ආදිය පහුරු ගාමින් සහ හොටගින් පෙරළමින් වේයන් ආදී කෘමි සත්ව වර්ග, වන බිමේ පලා, පලතුරු සහ ඇට වර්ග ආහාර සේ භුක්ති විඳින්න කැමතියි. ඒවා හොය හොයා කැලේ වුණත් පීරයි. වනය කනපිට වුණත් ගහයි.

“වල් ඌරෝ කැකුණ තලන කොට... හබන් කුකුළන්ට රජ මඟුල්ලු ...”

ගම්වැසියන් අතරේ ප්‍රකට කියමනක්. ගැමියකුගේ හේතු දැක්වීමකට අනුව, ඒ පිරුළ පට බැඳී ඇත්තේ මේ අයුරින්.

හබන් කුකුළන් කැකුණ මදේට බොහෝම මනාපයි. කැකුණ ගෙඩිය හොටේ (හොබුවේ) දිගු දළ වලින් ඇනලා, හපලා පලනවා. පලාගත්තු කැකුණ ගෙඩියේ පොත්තයි, මදයයි කනවා. ඔන්න ඔය ක්‍රියාවට කියන්නේ කැකුණ තලනවාය කියලයි. ඉතින් ඉතිරි වෙන කැකුණ මද හබන් කුකුළන්ට රාජ භෝජනයක්. නමුත් ඒ භෝජනය වලඳන්නට වෙන්නේ ඌරෝ කැකුණ තලපු දාටයි. හබන් කුකුළන්ට කැකුණ මද කන්ට නම් ඌරෝ කැකුණ තලන තෙක් කල් මරාන බලා ඉන්ට සිදු වෙනවා. ඒ නිසයි අපේ සීයලා, තාත්තලා තමන් ආසා කරන දෙයක් පහසුවෙන්ම ලබා ගන්නට හැකි වුණ හැම වෙලාවෙම කීවේ ‘වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්’ කියලා....”

හබන් කුකුළා උදෑසන සමයේත්, සවස් සමයේත් ඉර මුදුන් මධ්‍යහ්නයේදීත් පහත් හඬින් පටන් ගෙන ක්‍රමානුකූලව “යුහුහු... යුහුහු ... යුහුහු ... යුහුහු ... යුහුහී” බඳු නාදයකින් හඬලනවා. එහි මූලිකම අරුත වෙන්නේ තමන් වාසය කරන වසමේ අයිතිය සෙසු සාමාජිකයන්ට දැන්වීමයි. තම වසමේ අයිතිය තහවුරු කර ගැනීමට ද හබන් කුකුළන් නිබඳවම වෙහෙසෙනවා. වසමේ අයිතිය පිළිබඳව තවත් කුකුළකු සමඟ එල්ල විය හැකි බාධාවන්ට එරෙහිව දෙපාර්ශවයම සටනට පෙළඹෙනවා. එවිට කඩු සරඹයන් හා සමව තියුණු පොරකටු සටන් බිම තුළ නිබඳ ලෙළදෙනවා.

එක් කුකුළෙකු හඬලා අවසන් වත්ම තවත් කුකුළෙක් තම වසමේ සිට අයිතිය කියමින් හඬලනවා. එවිට සාමූහිකත්වයේ ස්වරූපයෙන් ගැයෙනා ‘හබන් කුකුළු ගීත’ විසින් වනාන්තරයට අපූර්වත්වයක් කැඳවනවා. මීට අමතරව තම වසමේ අයිතිය තහවුරු කර ගන්නා තවත් ක්‍රමෝපායක් වශයෙන් “කට හඬ විසි කිරීමේ” අපූර්ව වූ හැකියාවක් ද හබන් කුකුළෝ සතුයි. එනම් හඬ විනා, හඬ නැඟෙනා ස්ථානයක් සොයා ගත නොහැකියි. මෙයාලා මිනිස් දැස් මානයෙන් රිංගන්නත් ඒ ක්‍රමය භාවිතයට ගන්නවා..

කඳුකරයේ සිට තෙත් කලාපයේ පහත් බිම් දක්වා දුලබ ව්‍යාප්තියක් පෙන්වන හබන් කුකුළා වියළි කලාපයේ ගංගාධාර වනපෙත් තුළදීත් ඉඳ හිට දැක බලා ගන්න හැකියි. තම වාසස්ථානයන් ගිලගන්නා මිනිසුන්ට එරෙහිව එකදු කෙනෙහිළිකමක්, රැවුම් ගෙරවුමක් හෝ වදනකුදු නොනඟා නිහඬවම ජීවත් වන මේ අහිංසක විහංගයා තමන් සතු මහඟු ගුණාංගයක් මිනිසුන්ට කියා දෙන්නේ තම ජිවිතය ආදර්ශවත් කර ගනිමින්. එනම් හබන් කුකුළු යුවළක් අවිනිශ්චිත වූ අතුරු අන්තරාවන්ගෙන් තොරව වෙසෙන්නේ නම්, ඔවුහු ජීවිත කාලය පුරාවටම කිසිදු අඬ දබරයකින් තොරව එකට ජීවත් වෙන බව මෙයාලා ගැන සිදු කරපු අධ්‍යයනයන්වලදී අනාවරණය වෙලා තියෙනවා.

සිරිලක කුරුල්ලන් සම්බන්ධයෙන් නොයෙකුත් අධ්‍යයනයන්හි නිරත වූණු ප්‍රකට කුරුලුවේදී ජී.එම්.හෙන්රි මහතාගේ වාර්තාවන්ට අනුව ද ආදරයේ සංකේතය හුවා දක්වනු වස් ‘හබන් කුකුළු ප්‍රේමය’ට අන් කුමක් සම කළ හැකිද?

“ජෑක් ජෝ ජොයිස්” – “ජෑක් ජෝ ජොයිස්” නා නා ප්‍රකාර වන වැසි හඬ සන් අතරේ වළි කුකුළකු උස්ව හඬලයි. වන පෙත රාත්‍රියට සූදානම් වන බවක් වළිකුකුළා සෙස්සන්ට දැනුම් දෙයි. විසල් තැනි බිම වටා ගැවසුණු වළි කුකුළන්, හබන් කුකුළන්, ප්‍රමුඛ විහඟ කැල රාත්‍රී ලැගුම් පොළවල් සොයමින් වෙහෙසෙයි. හබන් කුකුළාට එකකින් සැහීමට හැකි වුවත් වළි කුකුළකු නම් කිකිළියන් තිදෙනකුම පිරිවරා ගෙන අතු-ඉති සිඳී ගිය කීන ගසක් මතට වී වනපෙත ගිල ගන්නා රාත්‍රිය දෙස බලා සිටියි.

 

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

 

නව අදහස දක්වන්න