මුහුදු පතුලේ නාන තටාකය | දිනමිණ

මුහුදු පතුලේ නාන තටාකය

 

අප රට වට කර ඇත්තේ සොඳුරු මහ සයුරය. එය විටක අපට නපුරක් ගෙන දුන්න ද සැබෑවටම මේ සමුදුර අපට නිරතුරුවම දායාද කර ඇත්තේ මහා ධන සම්පත්ය. එහෙත් අපට අදටත් සිත වාවාගත නොහැකිව ඇත්තේ මේ හිතක් පපුවක් නැති මහ සයුර විසින් අපට දායාද කර ඇති මේ සොබාභාදහමේ අපූරු දායාදයන් නිසි අයුරින් කළමනාකරණය කර ගෙන එය රටේ ඉදිරි ගමනට මහ රුකුලක් වෙන තුරු කර ගැනීමට අප අපොහොසත් වීමය

මේ කියන්නට යන්නේ ද මහ සයුර දියදම් දිනිතිය විසින් අපට දායාද කර ඇති තවත් අපූරු අනගීභවනීය දායාදයන් සමූහයක සොඳුරු කතාන්දරයකි

පිහිනුම් තටාකයන් පිළිබඳව අප අසා ඇත්තේ ලොකු හෝටල් සංකීර්ණ හා මහ මහල් ආශ්‍රිතව හා උසස් පාසල් ආශ්‍රිතවය ඒවායේ පිහිනීමේ හෝ ගිලා බැස දියබුං ගසන්නට වාසනාව ඇත්තේ ද වරප්‍රසාද ලත් උදවියකට හා මහා ධනවතුන්ටය.

මේ තටාකයන් නිර්මාණය වී ඇත්තේම උසස්, පහත්, සල්ලි ඇති නැති කාටත් පොදු දායාදයක් ලෙසට වීම ද විශේෂත්වයකි. මේ අපූරු පිහිනුම් තටාකයන් මුහුදු පතුලක මානවයාගේ හිත සුව පිණිසම දායාද කර දී තිබීම ආශ්චර්යයකි.

ඔබ තවමත් නොදැක්කා විය හැකිය. නොඅසා ද සිටිය හැකිය. එසේ නම් සවන් යොමු කර නුවන් විදා ලන්නැයි ආදරයෙන් සෙනෙහසින් යුතුව ආරාධනා කර සිටින්නෙමු

මුහුදු පතුල යට මැවුණු පිහිනුම් තටාකයන් දුසිමකට වැඩි ගණනකි. එක් තටාකයක් නිර්මාණය වී ඇත්තේ එක් අයකුට බැස දියබුං ගසන්නට හැකි අයුරිනි. තවත් තැනක එය දෙතුන් දෙනකු උදෙසාය. ඉන් එහා හතර පස් දෙනකුටය. මේ සියල්ලට අමතරව සමූහයකට හිතට බයක් නැතුව නාන්නට පිහිනන්නට හැකි අයුරින් නිර්මාණය වූ සොබාදහමේ අපූරු තටාකයන්ය

ඉතා කුඩා දරුවකුට වුව ද, මහලු අයකුට වුව ද ඉතා ආරක්ෂිතව මේ ඕනෑම තටාකයකින් රිසි අයුරින් දියබුං ගසන්නට සොබා දහම ඉඩ හසර සකසා දී ඇත්තේ ඉතා අපරිමිතවය. මේ සියල්ල නිර්මාණය වි ඇත්තේ මුහුදු මැදය. එහෙත් මේ අපූරු දායාදයන් සියල්ල තවත් අපූරු ගල් පරයකින් මහ සයුරත් මේ තටාකයන් සමූහයත් වෙන් කර මහ ආරක්ෂිත පවුරක් ලෙස නිර්මාණය වී ඇත්තේ කෙසේ ද යන්න අදහා ගත නොහැක්කකි

ඈත දියඹ සිට දළ රළ පෙළ උසුළු විසුළු කරමින් දඟ කරමින් වෙරළට එන්නට වුව ද, මනා සේ පිහිටා ඇති අපූරු කොරල් පරය හමුවේ මේ සෙල්ලක්කාර දළ රළ සුවච සුචත ළදරුවන් බවට පත් වී මේ කරදිය සිය පොකුණු තුළ වෙතට වැද හොවන්නේ අපූරු තාලයකටය.

වැල්ලට ආ මේ සයුරු හීන් සීරුවේ යළි අර ගල් පරය මතින් දියඹට ඇදී යන්නේ කොරල් පරයෙන් මෙහා ඇති කරදිය තටාකයන් තුළ කොටසක් ඉතිරි කරමිනි.

මේ සංසිද්ධිය නිරතුරුව සිදු වෙමින් ඇති නිසා මේ වන විටත් මෙම සොඳුරු දායාදයේ උණුසුම ලබන පිරිසගේ මන දොළ සපුරා ලමින් දිනපතා මේ සොඳුරු පියස වර්ණවත් කරයි.

මෙම නාන තටාකයන් කොටස් තුනකින් සමන්විතව ඇති අතර එය ස්ථාන තුනක් ලෙසට මේ වන විට තරුණ පිරිසක් විසින් පවත්වා ගෙන යති. මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ගණන විශාලය. එන කිසිවකුගෙන් දිය නාන්නට කිසිදු මුදලක් අය නොකළ ද නවතා තබනු ලබන වාහනවලින් සාධාරණ මුදලක් අය කර ගනී. කරදියෙන් සෙල්ලම් කරන්නට දුර බැහැරින් එන අයට පිරිසුදු ජලයෙන් නාන්නට සහ රස ආහාර වේලකින් සප්පායම් වීමට අවැසි සියලු පහසුකම් මේ තරුණ පිරිස මනා සේ සකස් කර ඇත.

මේ තටාකයන්වල අතීතය වසර 150ක් පමණයැයි දැනට මේ අසල ජීවත් වන වයස්ගතම ආත්තම්මා ඇයගේ මතකයන් අනුව පැවසුවේ මෙවන් දෙයකි.

"අපි පුංචි කාලේ මේ වළවල්වල පොල් ලෙලි දානවා. ඒවා රෑට මහ පාරට දැම්මාම ඒ උඩින් වාහන ගියාම ලෙලි තැළෙනවා. ඊට පස්සසේ අපි ඒවා අරගෙන සුදු කොහු බවට පත් කර ගෙන ලණු ඇඹරුවා, කොහු හැදුවා. මේ වළවල් කොහොම හැදුණාද කියල කියන්න දන්න කෙනෙක් නෑ."

මේ සුන්දර නාන තටාක වෙත යෑමට නම්, ඔබ ගාල්ල මාතර මහා මාර්ගයේ මාතර දෙසට ගමන් කරන විට අති සුන්දර උණවටුන පුරවරය පසු කර තවත් මාතර දෙසට කිලෝමිටර පහක් පමණ එන විට තල්පේ උප නගරය ඔබට හමු වනු ඇත. එම තල්පේ හන්දිය පසුකර මඳක් මාතර දෙසට එන විට මේ සොබා දහමේ සොඳුරු තෝතැන්න ඔබ පිළිගැනීමට මඟ දෙපසට වී බලා සිටිනු ඇත. මෙවා හැඳින්වෙන්නේ තල්පේ බීච් නැචුරල් නමිනි.

 

නන්දසිරි වැලිගමගේ

 

 

 

 

නව අදහස දක්වන්න