අප්පුහාමිගේ ආරුක්කු පාලම | දිනමිණ

අප්පුහාමිගේ ආරුක්කු පාලම

“උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක - කඳු ගැට නැග නැග බල්ලම් බැස බැස" ලෙස ගයමින් කොළඹ සිට බදුල්ල දක්වා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විට දුම්රියෙන් ගමන් කරන්නට ඇත. මෙම දුම්රිය මඟේ දෙස් විදෙස් සංචාරකයන්ගේ දෑස් ඇද බැඳ ගන්නා ස්ථාන දෙකක් ඇති බව ඔබ දන්නවා ඇති. එකක් නම් ආරුක්කු නමයේ පාලම හා දෙමෝදර දුම්රිය ස්ථානයයි. මෙම දැකුම්කලු ස්ථාන දෙකම ඉදි කිරීමට ලංකාවේම උපන් දෙදෙනකු මූලිකත්වය ගෙන ඇති බව ඔබ දන්නවාද?

මුල් අවදියේදී දොරටු නවයේ පාලම ලෙසින් ද පසුකාලීනව අහස් නවයේ බිං ගෙය හා ආරුක්කු නවයේ පාලම ලෙසින් හැඳින්වෙන ඇල්ල දුම්රිය පොළ හා දෙමෝදර දුම්රිය පොළ අතර ගොටුවල යන ස්ථානයේ ඇති දුම්රිය පාලම මළපොතේ අකුරක්වත් බැරි බව කියන පී.ඒ. අප්පුහාමි නම් වැලිමඩ පෙල්ලවින්නේ විසූ අයකු ඉදි කර ඇතැයි පැවසේ. එසේම දෙමෝදර දුම්රිය පොළ ඉදි කිරිමේදී විමලසුරේන්ද්‍ර නම් ඉංජිනේරුවරයා ද විශාල මෙහෙයක් සිදු කර ඇතැයි ද පැවසේ.

දෙස් විදෙස් සංචාරකයන්ට අදහා ගත නොහැකි සැතපුම් 169 3/4 කණුව අසල පිහිටි ආරුක්කු 09 පාලමේ සාමාන්‍යයෙන් අඩි 80 ක් පමණ ද, දිග අඩි 300 ක් පමණ ද පළල අඩි 25ක් පමණ ද වන බව දැන ගන්නට ඇත. 1913 බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම ආරම්භ කර ඇති අතර මෙම ආරුක්කු නවයේ පාලම හා දෙමෝදර දුම්රිය ස්ථානය 1921-03-21 දින විවෘත කර ඇත.

මෙම පාලම ඉදි කිරීමට කටයුතු කළ වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ පදිංචිව සිටි ආර්.ඇම්. අප්පුහාමි සීයාගේ පෙළපත් නාමය සුදු ජාතික ඉංජිනේරුවරයා විසින් පී.කේ. අප්පුහාමි ලෙසට හැඳින්වීමට පියවර ගෙන ඇත.

අප්පුහාමි සීයාගේ නිවෙසේ වර්තමානයේ පදිංචී ආර්.ඇම්. පියතිලක (60) වන ඔහුගේ මුණුබුරා ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.

"අපේ ආර්. ඇම්. නොහොත් පී.කේ,අප්පුහාමි සීයාගේ පුතා වන ආර්.ඇම්. කිරිබණ්ඩා මගේ තාත්තා. අපේ තාත්තා ඇතුළු ළඟම ඥාතීන් කියන විදියට සීයා පෙදරේරු හා වඩු වැඩ කළ අයෙක්. මෙයට අමතරව බලි තොවිල් හා ශාන්ති කර්මවල නැට්ටුවෙක් හැටියටත් කටයුතු කර තිබෙනවා. එසේම වර්තමානයේ කියන විදියට වැස්සටවත් පාසල් නොගිය මළපොතේ අකුරක්වත් බැරි අයකු ලෙසටයි හඳුන්වන්නේ. දුම්රිය පාරේ වැඩට එක් වුණ අන්දමත් දෙමෝදර ආරුක්කු නවයේ පාලම සීයා මැදිහත්ව ඉදි කළ අන්දම අපේ මාපියන්ගේ ළඟම නෑදෑ හිතවතුන්ට කියා තිබෙනවා. එම කථා සත්‍ය හා නිවැරැදි බව එම කාලයේ දුම්රිය මාර්ගයේ කම්කරුවන්ට අත්උදව් කර ඇති දෙමෝදර දුම්රියපොළ අසල පදිංචිව සිටි එම්. බබානිස් සීයාගේ තොරතුරුවලින් ද මනාව තහවුරු වෙනවා.

අපේ සීයා තොවිල්වල නැට්ටුවෙක් හැටියට දවසක් හල්දුම්මුල්ල කළුපහණ තොවිල්පළකට ගිහින් තිබෙනවා. එම තොවිල්පළේදි නැටුම් තරගයක් තිබිලා. ඉතින් එම නැටුම් තරගයෙන් සීයා පැරදිලා. ලැජ්ජාව ඉවසා දරා ගන්න බැරිව තොවිල්පළින් පැනලා ඇවිත් තිබෙනවා. මෙසේ රාත්‍රී කාලයේ නැටුම් නැටීමට ඇන්ද ඇඳුම් සමඟ ගමට එන්න ඔහිය කැලෑව මැදින් ඇවිත් තිබෙනවා. ඔහිය දුම්රිය මාර්ගයේ වැඩ කරන කම්කරුවන් දෙපයේ ගෙජ්ජි හඬ නංවමින් තොවිල් නැටුමට අඳින ඇඳුම් ඇඳගෙන පැමිණෙන සීයා දැක හොඳටම බය වෙලා. මෙය දැනගත් සීයා එම කම්කරුවන් ළඟට ගොස් හඳුන්වා දී තිබෙනවා. ඉන්පසු තමන් මුහුණ දුන් ලැජ්ජා සහගත පරාජය නිසා ගමට යෑමට අපහසු බවත් කියා තිබෙනවා. එම දුම්රිය මාර්ගය ඉදි කිරීම භාරව සිටි ඉංජිනේරුවරයාගේ ඉල්ලිමට අනුව සීයා ද පෙදරේරුවකු ලෙසින් වැඩ කරන්න කැමති වෙලා. එදා සිට සීයා බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ වැඩ කර තිබෙනවා.

ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර කඳු ගැටය දක්වා දුම්රිය මාර්ගය ඉදි කරන අතරතුර ගොටුවල ප්‍රදේශයේ කඳු දෙකක් අතර විශාල පරතරයක් තිබිලා. මෙම කඳු දෙක අතර මඩ වගුරක් තිබිලා. සුදු ජාතික ඉංජිනේරුවරයා මෙම කඳු දෙක යා කිරීමට එංගලන්තයෙන් යකඩ පාලමක් ගෙන්වා ගෙන තිබෙනවා. නමුත් එම පාලම දිගින් අඩු වීම නිසා බරපතළ ගැටලුවක් මතු වෙලා. එම ඉංජිනේරුවරයාට මෙය දරා ගත නොහැකිව සිය දිවි නසා ගන්න තත්ත්වයක් මතු වෙලා. අන්තිමට එම ඉංජිනේරුවරයාගේ ළඟම විශ්වාසය දිනා ගෙන සිටි අපේ සීයාගෙන් මෙයට විසඳුමක් අසා තිබෙනවා. සීයා පාලමක් හදන අදහස කියා තිබෙනවා. ඉංජිනේරුවරයාගේ ඉල්ලීමට අනුව සීයා මෙම පාලම හදන්න පටන් ගෙන තිබෙනවා. හොඳ ශක්තිමත් 300 විතර කම්කරුවන් පිරිසකගේ ද සහාය ඇතිව එම මඩ වගුරට ඉහළින් ඇති කඳු ගැටයේ තිබුණ විශාල කළු ගල් ගලවා පෙරළා තිබෙනවා. කඳු මුදුනේ සිට වේගයෙන් පහතට පෙරළෙන කළු ගල් කුට්ටි මඩ වගුරේ පතිත වූ බව කියනවා. එසේ කළු ගලින් පුරවා ගත් මඩ වගුරේ තමයි මෙම ආරුක්කු 09 පාලම ඉදිකර තිබෙන්නේ. සීයා ඉංජිනේරුවරයාගේ විශ්වාසය ඇති කිරීමට වැටුප් නොගෙන මෙම පාලම හැදූ බවයි කියන්නේ.

සීයා දුම්රිය පාලම හදන්න ගත් කාලයට හිමි හිඟ වැටුපත්, ගත් වෙහෙසට ත්‍යාග ලෙසින් රිදී කාසි මලු 08ක් ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා. සුදු ඉංජිනේරුවරයා සමඟ සීයා විශාල බැඳීමක් තිබිලා. ඒ අනුව සීයාට ලැබුණු රිදී කාසිවලින් කොටසක් වැය කර ඉංජිනේරුවරයාට කාර් එකක් මිලට අරගෙන දීලා. එම කාර් එකෙන් ඉංජිනේරුවරයා සමඟ සීයා ගමට ඇවිත් තිබෙනවා. එම ඉංජිනේරුවරයා සීයාට එංගලන්තයට යෑමට ඇරයුම් කළත් සීයා එය ප්‍රතික්ෂේප කරලා. සීයා තෑගි ලෙසට ලැබුණු මුදලින් ගමේ හිතවතුන්ට දිවා ආහාරය සමඟ රිදි කාසියක් තෑගි දුන් බව අපේ මාපියෝ පැවසුවා.

සීයා හැදූ නිවෙසත් දෙමෝදර දුම්රිය පොළේ ගොඩනැඟිල්ලේ ලක්ෂණ තිබෙනවා. බිත්තියක් අඟල් 18ක් විතර විශාලයි. දොර හා ජනෙල් උළුවහු හා බිත්ති අතර මුළු නිවෙස වටේම වහලයේ ලී වේයන්ගෙන් ආරක්ෂා වීමට දිය කළුගල් පතුරු තබා තිබෙනවා. එසේම දෙමෝදර දුම්රිය ස්ථානය විවෘත කළ දිනය වන 1921-03- 21 දිනය නිවෙසේ ඉදිරිපස බිත්තියේ සිමෙන්ති බදාමයෙන් සටහන් කර තිබෙනවා. දෙමෝදර දුම්රිය ස්ථානය ඉදිකිරීමේදීත් එංගලන්ත ඉංජිනේරුවරයා යටතේ සිටි ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරයකු ලෙසින් කටයුතු කර ඇති විමලසුරේන්ද්‍රන් මහතා සමඟත් ඉතා සමීපව වැඩ කර ඇති බව කියනවා. සීයා 1885දී ඉපිද 1951දී අප අතරින් සමු ගෙන තිබෙනවා."

දෙමෝදර දුම්රිය ස්ථානය

නානුඔය සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය තැන තැන පොළොවේ සැඟවෙමින් කඳු අතරින් දියතලාව දක්වා අලංකාර ගමනක නියැලේ. එතැන් සිට ආරුක්කු නවය පාලම පසුකරමින් දෙමෝදර කඳු ගැටය මත ඉදිකර ඇති දුම්රිය පොළ දක්වා දුම්රිය එක් උස මට්ටමක අනුව ධාවනය වේ. කඳු දෙක අතර පැවති හිඩැස අතර මතු වූ ගැටලුව විසඳා ගනු ලැබුවත් දෙමෝදර කඳු ගැටයේ සිට බදුල්ල දක්වා දුම්රිය මඟක් ඉදිකිරිමේ ගැටලුවට ඉංජිනේරුවරු මුහුණ දී තිබේ. එයට හේතුව නම් දෙමෝදර දුම්රි ස්ථානය අඩි 70ක සමෝච්ච රේඛාව විහිදී තිබිමයි. ඒ නිසා තද බෑවුමක දුම්රිය මඟක් ඉදි කිරීම ඉතාමත් අපහසු නිසා එම කඳු ගැටය වටා ගොස් දුම්රිය ස්ථානයට යටින් ඇති අංක 42 බිං ගෙය ඔස්සේ අනෙක් දිසාවට මාරු වේ. එම බිං ගෙය යාර 232ක් පමණ දුරය. කඳු ගැටය වටා යාර 990ක් දුම්රිය මඟ සැකසීම නිසා අඩි 70 කඳු බෑවුම පහසුවෙන් පාමුලට පිවිසීමට හැකි විය. එම කඳු පාමුල සිට බදුල්ල දක්වා පහසුවෙන් දුම්රිය මඟ ඉදි කිරීමට හැකි වි ඇති අයුරු මනාව පෙනේ.

මෙම දුම්රිය මාර්ගය ඉදි කිරිමේදි සුදු ජාතික ප්‍රධාන ඉංජිනේරුවරයාට සහය වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ඉංජිනේරුවරයාත්, පී.කේ. අප්පුහාමි බාස්උන්නැහේ ද විශාල දායකත්වයක් සපයා දී ඇතැයි පැවසේ. මෙම සැලසුම Lopping the loop ලෙසින් හැඳින් වේ.

මෙම දුම්රිය මාර්ග කොටස ඉදි කිරීමේ ගැටලුව විසඳා ගත් අන්දම එම යුගයේ දුම්රිය මඟ ඉදි කිරීමට දායකත්වය සපයා දී ඇති එම්. බබානිස් සීයා වසර 99 වියේ පසුවන අවදියේ එනම් දැනට වසර කිහිපයකට පෙර සිය අත්දැකීම් විස්තර කර ඇත්තේ මෙසේය.

"මම කොලු ගැටයා කාලේ කඳ් දෙක යාකරමින් අප්පුහාමි බාස්උන්නැහේ ආරුක්කු 9 පාලමේ වැඩ කරන අන්දම දැක්කා. මම වැඩ කරන අයට බුලත් විට,බොන්න වතුර ගෙනැවිත් දෙමින් උදව් කළා. කන්දේ ඉහළ සිට පහළට විශාල කළු ගල් පෙරළුවා. මෙම ගල් පෙරලීමට කම්කරුවන් 300ක් විතර එක්ව සිටියා. මෙම පාලම හදන්න වැලි, ගල් හා සිමෙන්ති යොදා ගත්තා. අප්පුහාමි ලොකු බාස්උන්නැහේ පිරිසුදු වැලි ඉල්ලා සිටියා සුදු ඉංජිනේරු මහත්තයා වැලි රැගෙන එන විට සුදු ලේන්සුවක වැලි හොඳින් අතුල්ලා මඩ තිබේ දැයි පරීක්ෂා කළා. ලේන්සුවේ මඩ තැවරුණොත් මුළු වැලි ගොඩම අහක දමනවා. මෙහෙම පාලම ඉදි කළා. පාලමෙන් දුම්රිය ධාවනය කරන්න ඉංජිනේරුවරයා බය වුණා. අප්පුහාමි බාස් කීවා දුම්රිය පාලමෙන් යන විට පාලම යට නිදා ගන්නවා කියා. ඒ අනුව මුලින්ම බඩු ප්‍රවාහන දුම්රිය ධාවනය කරන්න ආරම්භයට පෙර බාස්උන්නැහේ සරමක් පාලම යට එළා ගෙන නිදා ගත්තා. දුම්රිය පාලම මතට එන විට ඉංජිනේරු මහත්තයා මුලින් ඇස් දෙක වසා ගත්තා. පසුව කෝච්චිය පාලමෙන් යද්දි පුදුම සතුටකින් ඉංජිනේරු මහතා බලා සිටියා.

ආරුක්කු 09 පාලමේි නිර්මාතෘ 
පී.කේ . අප්පුහාමි සීයා

ඉංජිනේරු මහතා අප්පුහාමි බාස් සමඟ පුදුම හිතවත්කමක් ගොඩනැඟී තිබුණා. අප්පුහාමි ලොකු බාස්උන්නැහේ සුදු ඉංජිනේරු මහතාට මාව පෙන්නලා මේ කොලු ගැටයටත් රැකියාවක් දෙන්න කීවා. ඒ අනුව මට දවසකට ශතය බැගින් ලැබෙන වැටුපකට දුම්රිය පාරේ වැඩට ආවා. මම මුලින්ම මේසන් බාස්ලගේ ආයුධ පිරිසුදු කිරිම තමයි කළේ. පසුව මම දුම්රිය පාරේ ස්ථිර කම්කරුවකු ලෙසට බැඳුණා.

දෙමෝදර කඳු ගැටය ඔස්සේ දුම්රිය පාර බෑවුමට රැගෙන යෑමේ ගැටලුව මත අවුරුදු 03ක් විතර කාලයක් වැඩ ඇනහිටියා. දවසක් කඳු ගැටය අසල සුදු ඉංජිනේරුවරයා ඉන්නා විට මී ගවයන් දක්කාගෙන යන ගව පට්ටි හිමියා සුපුරුදු ආකාරයට හිස වටා කෙවිට කරකවමින් ගියා. මෙය ආදර්ශයට ගෙන කඳු ගැටය මත දුම්රිය පොළ ද කඳු ගැටය වටා දුම්රිය මාර්ගය සැලසුම් කළා. බිං ගෙය මත දෙමෝදර දුම්රිය ස්ථානය ඉදි කළා. කඳු ගැටය වටා රවුමක් ගසා පහතට දුම්රිය මඟ සැකසුවා. මෙහිදී විමලසුරේන්ද්‍ර මහතා හා අප්පුහාමි බාස්උන්නැහේ ද විශාල සහයක් දුන්නා. අන්තිමට කොළඹ සිට දෙමෝදරට පමණක් සීමා වීමට තිබුණ දුම්රිය මාර්ගය බදුල්ල දක්වාම දීර්ඝ වුණා."

 

අප්පුහාමි සීයාගේ මුණුබුරු ආර්.ඇමි. පියතිලක

මෙසේ බරපතළ ගැටලු දුෂ්කරතා ජය ගෙන ඉදි කර ඇති දැකුම්කළු දෙමෝදර දුම්රිය ස්ථානය හා විස්මිත ආරුක්කු නවයේ පාලම නැරඹීමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණී අතර මෙහි ඇති වටිනාකම කෙතෙක් දැයි කියා මිල කිරීමට කිසිවකුටත් හැකියාවක් නැත. මෙම දුම්රිය මාර්ගයේ සේවය කළ එම්.බබානිස් සියා කර ඇති විස්තරයට අනුව මෙය මිථ්‍යා ප්‍රබන්ධ කථාවක් නොවන බව මනාවට වැටහේ

 

කේ.ආර්.ආර්.රාජමන්ත්‍රී

නව අදහස දක්වන්න