සිටි බස් ගැන ජනතාව ප්‍රශංසා කරනවා | දිනමිණ

සිටි බස් ගැන ජනතාව ප්‍රශංසා කරනවා

සුභාෂිණී සේනානායක
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස

කොළඹ නගරය ආශ්‍රිතව පවතින වාහන තදබදය අවම කර ගැනීමේ අරමුණින් ඉකුත් ජනවාරි මස 15 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද නිවසින් කාරයට බසයෙන් කොළඹට පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව (PARK AND RIDE CITY BUS) සේවාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා සමඟ කළ සාකච්ඡාවකි.

- දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බස් රථ යොදවනවා
- ප්‍රබෝධමත් මනසකින් රාජකාරී කිරීමට අවස්ථාව සලසා දීම අපේ අරමුණයි
- ප්‍රවාහන තදබදය අවම කරමින් සුහදශීලී ජනතා සේවයක් ඉටු කරනවා
- බස් රථ තුළදී නොමිලේ වයිෆයි පහසුකම් ලැබෙනවා

මේ නව බස් සේවාව ආරම්භ කිරිමේ මුඛ්‍ය අරමුණ කුමක්ද?

මේ ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආරම්භ කළ ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන අතර ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ, වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනවා. දිනපතා කොළඹ නගරයට පැමිණෙන වාහන සංඛ්‍යාව අධික වීම මේ සඳහා ප්‍රධාන හේතුවක් වුණා. එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 2009 දී ඊට පිළියම් සෙවීම ආරම්භ කර තිබුණා. එම කාර්යය සිදු කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට එවකට පවරා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළේ සතිය පුරා උදේ සහ සවස මාර්ගවල මාර්ග තදබදය අවම කිරීම සඳහා, තමන්ගේම වාහනවල වැඩ කිරීමට යන ශ්‍රම බලකායට පොදු ප්‍රවාහන පද්ධතිය ආකර්ෂණීය විකල්පයක් ලෙස ලබා දීම අවශ්‍ය බවයි. 2009 වසරේ මේ සඳහා උද්‍යාන හා සවාරිය යන ක්‍රමය වහාම ක්‍රියාත්මක කළ යුතු බවට ඔහු යෝජනා කර තිබුණා. උද්‍යාන සහ සවාරිය ධාවන ක්‍රමය 2009 දී “සිටි ලයිනර්” ලෙස නම් කර තිබුණා. මෙවැනිම ව්‍යාපෘතියක් යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මේ වනවිට තදින්ම පැන නැඟී තිබුණේ ලෝකය වෙළා ගත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන්. ලෝකය පුරා ජනතාව තම අවශ්‍යතා වෙනුවෙන් මාර්ගයට අවතීර්ණ වන්නේ තමාට අයත් පුද්ගලික වාහන වලින්. ඒ කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමටයි. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට වෙනස් වුණේ නැහැ. දිනපතා මාර්ගයට පිවිසි වාහන ප්‍රමාණය සීග්‍ර යෙන් ඉහළ ගියා. මේ කරුණු සියල්ල තේරුම් ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ඊට පිළියම් සොයන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා. ඒ වගකීම භාර ගත්තේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයයි.

මේ බස් සේවාව සඳහා යෙදවීමට යොදා ගත් බස් රථ කුමන තත්ත්වයකින් යුතු බස් රථද ඒවා මගින් ජනතාවට ලැබෙන වාසි මොනවාද? ඒ වගේම මේ බස් රථ සහ සාමාන්‍ය බස් රථ අතර ඇති වෙනස කුමක්ද?.

මේ නියමු ව්‍යාපෘතිය සඳහා මෙරට සංචාරක කර්මාන්තයට භාවිතා කළ බස් රථ 25ක් මූලික අදියරේ යොදවනු ලැබුවා. කොවිඩ් හේතුවෙන් සංචාරක කර්මාන්තයත් මේ වනවිට යම් ප්‍රමාණයක් ඇන හිටි තත්ත්වයක තිබෙන්නේ. මේ බස් රථ යොදවා ගැනීමෙන් ඒ අයටත් යම් වාසියක් අත්වෙනවා. ඉදිරියේදී මේ .ව්‍යාපෘතිය පුළුල් කරමින් මේ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා උසස් තත්ත්වයේ නව බස්රථ 200ක් මිල දී ගැනීමට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමටත්, ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය මේ වනවිට ලැබී තිබෙනවා.

ඉදිරියේදී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බස් රථ යොදවනවා වගේම ඒ සඳහා සිදු කළ දැවැන්ත ආයෝජනය හේතුවෙන් ලැබෙන සුඛෝපභෝගී බස් රථ 200 ලැබුණු විගම මේ ව්‍යාපෘතිය පුළුල් කරනවා.

මේ සේවාව ආරම්භ කෙරෙන්නේ කුමන ස්ථානයකින්ද?

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පෙරවරු 6.00 සිට ආරම්භ කෙරෙන මේ බස් රථ සේවාව දිනකට බස් රථ 64ක් ක්‍රියාත්මක කර තිබෙනවා.කාර්, මෝටර් බයිසිකලයෙන් ඇතුළු විවිධ ප්‍රවාහන මාධ්‍ය මඟින් ගමන් ගන්නා මගීන්ට සුව පහසු ආරක්ෂිත මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක පොදු ප්‍රවාහන බස් රථ සේවාවක් හඳුන්වාදීම මෙහිදි සිදු කර තිබෙනවා. විවිධ දෙපාර්තමේන්තු ආයතන වෙත යන කාර්යාලයීය සේවකයන් ඉලක්ක කරගත් මේ බස් සේවාව කොළඹ හා තදාසන්න නගර කරා කාර්යාලීය වේලාවන් තුළදී ගමන් කරනවා.මාකුඹූර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන මේ බස් සේවාව කොට්ටාව, මහරගම, නුගේගොඩ, තිඹිරිගස්යාය, පුරහල, රීගල් සිනමා ශාලාව, කොටුව, පිටකොටුව, මිහිඳු මාවත, ටෙක්නිකල් හන්දිය, ආමර්වීදිය, මරදාන, බොරැල්ල, ආයුර්වේදය, බත්තරමුල්ල, තලංගම ඩිපෝව, කොස්වත්ත,පාලම් 03 හන්දිය, පැලවත්ත හන්දිය,තලවතුගොඩ, පන්නිපිටිය, පරණපාර, කොට්ටාව සිට නැවත මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට එක් ගමන් මාර්ගයක් හරහාත් ධාවනය කෙරෙන අතර අනෙක් ගමන් මාර්ගය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන, කොට්ටාව, පරණපාර, පන්නිපිටිය හන්දිය, තලවතුගොඩ , පැලවත්ත, පාලම් 03 හන්දිය, බත්තරමුල්ල, ආයුර්වේදය, බොරැල්ල, මරදාන, ආමර්වීදිය, ටෙක්නිකල් හන්දිය, මිහිඳු මාවත, පිටකොටුව, කොටුව, රීගල්, පුරහල, තිඹිරිගස්යාය, නුගේගොඩ, මහරගම, කොට්ටාව සිට නැවත මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණෙනවා. මාකුඹුර, නාවින්න, නුගේගොඩ, තලංගම යන ස්ථවලින් සිටි බස් සේවාව ලබා ගත හැකි වෙනවා.

මේ බස් සේවාව ලබා ගැනීමට හඳුන්වා දී ඇති දුරකතන අංක තිබෙනවාද?.

ඔව්. අපි දුරකතන අංක 0117555555 අංකය ඇමතීමෙන් මේ සේවාව ගැන විස්තර ලබා ගත හැකියි. එසේම ඇන්ඩ්‍රොයිඩ් තිබෙන ඕනෑම ජංගම දුරකතනයකින් city bus srilanka "ඩවුන්ලෝඩ්" කර ගෙන "ඉන්ස්ටෝල්" කරගත හැකියි. එසේ නැත්නම් සිටි බස් සේවාවේ ඊමේල් අංකයට "මේල්'' එකක් යොමු කිරීමෙන් විස්තර දැන ගත හැකියි. [email protected] එහි ඊමේල් ලිපිනයයි. 0771056044 දුරකතන අංකයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකියි.

මේ සේවා ලබා දීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියන්නේ හොඳම මෙන්ම විශ්වසනීය ගමනාගමනයක් සැපයූ ආයතනයක්. ඕනෑම අවස්ථාවක රජයට සහාය වෙමින් මඟීන්ට අවශ්‍ය ගමන් පහසුකම් ලබා දීමට ලංගම සැදී පැහැදී සිටිනවා. කොළඹ හා තදාසන්න නගර තුළට ඇදෙන වාහන සංඛ්‍යාව අවම කරලීම මෙහි අරමුණ වන අතර වාහන තදබලය හේතුවෙන් ඇතිවන පරිසර දූෂණය අවම කිරීම, ගමනාන්ත කර ළඟා වීමට ගතවන කාලය අවම කිරීම, මානසික පීඩනය අවම කිරීම තුළින් ප්‍රබෝධමත් මනසකින් රාජකාරී ස්ථානයට සහ කාර්යාලයට ගමන් කිරීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. සුරක්ෂිත වාහන නවතා තැබීමේ පහසුකම් සහිත අංගණ ස්ථාපිත කර ඇති අතර මෙහිදී සුඛෝපභෝගී බස් රථ පමණක් ධාවනය කිරීම, ආසන ගණනට පමණක් මගීන් ගෙනයාම සිදු කෙරෙනවා.

සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් මෙහිදී අය කෙරෙනවා. කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස්වලට අනුව ගමන් කිරීමට හැකි වීම, බස් රථය තුළ වයි ෆයි පහසුකම්, මෘදුකාංගයක් මගින් බස් රථයේ තොරතුරු දැන ගැනීමට හැකිවීම, සීමිත නැවතුම්වල පමණක් නැවැත්වීම, වඩාත් නම්‍යශීලි සේවාවක් ලබා දීම, අඩු කාලයකින් ගමනාන්තයට ළඟාවීම, ආචාරශිලි සුහදශීලී ආකර්ෂණීය සේවාවක් ලබා දීම, තාක්ෂණය උපයෝගී කරගනිමින් දිනපතා සිදු කෙරෙන පසු විපරම සහ Clock wise සහ Anti clock wise ගමන් මාර්ග දෙකක් සහතික වීම මෙහි ඇති අනෙකුත් පහසුකම් වෙනවා. ගමන් අවශ්‍යතාවය අනුව නව බස් රථ සේවා අරම්භ කිරීම, වාහන නැවැත්වීමට ආරක්ෂිත රථ ගාල, ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශ පත්‍ර, සුඛෝපභෝගී දුම්රිය සේවා, තමාටම වෙන් වූ අසුනක් , Low Flooor AC Busses මෙන්ම ඉතිරි පිවිසුම් මාර්ග 05න් නව සේවා අරම්භය මෙහි ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන සේවාවන්ය.වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ආරම්භ කෙරෙන නව ව්‍යාපෘතිය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, 3K ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා පොලිසිය,මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගර සභාව සම්පත් දායකත්වය ලබා දී තිබෙනවා. දුම්රියපොළවල, අධිවේගී ප්‍රවාහන මධ්‍යස්ථාන තුළ ඇතුළු විවිධ පොදු ප්‍රවාහන සේවා ආරම්භ වන ස්ථානයන් හි තම පෞද්ගලික වාහනය ගාල් කර යාමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඉතා සුළු මුදලක් පමණක් අය කරන අතර, තම පෞද්ගලික වාහනයෙන් පොදු ප්‍රවාහන සේවය වෙත එළඹ තමන් කැමති ස්ථානයකට ගොස් නැවත පැමිණ තම වාහනය ගාල් කර තැබූ රථ ගාලෙන් ලබා ගැනීමේ හැකියාව මෙමඟින් ලැබේ.

මේ සේවා පුළුල් කිරීමට අදහසක් තිබෙනවාද?

ඔව් මේ මේ වනවිට ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ මහතා සහ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා සහ ලංගම සභාපති කිංස්ලි රණවක මහතා ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු ක්ෂේත්‍රවල නිලධාරීන් ගෙන්වා සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙනවා. මේ වනවිට අපි කොළඹ මාර්ගවල තවත් මේ බස් සේවාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව පිළියන්දල සිට කොළඹ දක්වා මේ සේවාව පුළුල් කරන්නත් කළුතර ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා මේ සේවාව හඳුන්වා දෙන්නත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ සඳහා සභාපති කිංස්ලි රණවක මහතා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. මින් වඩා අවධානය යොමු කළ යුතු වන්නේ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට යි. පොදු ප්‍රවාහන සේවය දියුණු කරන ගමන්ම පෞද්ගලික වාහන භාවිතය අවම කිරීම සඳහා ද යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා විකල්පයක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය සිදු කරන කාලෝචිතම ව්‍යාපෘතියක් ලෙස මෙය හැදින්විය හැක. පළමුවෙන්ම පොදු ප්‍රවාහනය දියුණු කිරීමට අවධානය යොමු කරමින් ඊට අදාළ භෞතික යටිතල පහසුකම් දියුණු කිරීම හා පොදු ප්‍රවාහන සේවය දියුණු කිරිමට ආණ්ඩුව අවධානය යොමු කරමින් පවතින අවස්ථාවක මේ නියමු ව්‍යාපෘතිය ජනගත කෙරෙනවා. ලෝකයේ විවිධ රටවල් ප්‍රවාහන තදබදය අවම කිරීමට විවිධ ප්‍රවාහන ව්‍යාපෘති (BRT,MRT,LRT) හදුන්වා දී තිබෙනවා. පාර්ක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය මඟින් මහජනතාව පොදු ප්‍රවාහන සේවාව සඳහා ආකර්ෂණය කරගත හැකි වෙනවා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (Multi-Modal Transport Hub) ලෙස ක්‍රියා කරනවා. මේ ව්‍යාපෘතියේ අඩුපාඩු සේවාව ක්‍රියාත්මක කිරීමේදි හඳුනාගත් අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කරමින් නුදුරේදීම එම සේවාව හඳුනාගත් ප්‍රවාහන කොරිඩො කිහිපයක් සඳහා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලැබී තිබෙනවා. 

මේ වනවිට මේ සඳහා මඟීන් ආකර්ෂණීය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවාද?

ඇත්තටම ඔව්. විශාල ලෙස මඟීන්ගේ ප්‍රශංසා පවා ලැබෙන බව ඔවුන් පවසා තිබෙනවා. විශේෂයෙන්ම ඒකට හේතුව වුණේ කොවිඩ් හේතුවෙන් කාර්යාල සේවකයන් විශාල බියකින් සේවා ස්ථාන කරා ළඟා වීමයි. එවැනි අවස්ථාවක මඟීන්ට විශාල ආරක්ෂිත පරිසරයක් මින් සැලසී තිබෙනවා. බොහෝ වාහන හිමියන්ට කොළඹට ඇවිත් තම වාහනය තබා ගන්න ස්ථානයක් නැහැ. ඒ නිසා ඔවුන් තැන් තැන්වල වාහන නවතා යනවා. ඒ අවස්ථාවල වාහන කොටස් ගලවාගෙන යෑම් වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් අප සමඟ අදහස් දක්වා තිබෙනවා. ඒ වගේමයි කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය උපෙදස්වලට අනුවයි මේ බස් ධාවනයේ යෙදෙන්නේ. මේ අයට ඒ සම්බන්ධයෙන් බිය වීමට අවශ්‍ය නැහැ. අපේ රියදුරන් කොන්දොස්තර වරුන් ඒ උපදෙස් නිසි ලෙසම රකිමින් තමයි කටයුතු කරන්නේ. ඒ වගේමයි සීට් ගණනටයි මඟීන් ගෙන යන්නේ. සෑම බස් නැවතුම්පලකම නවත්වන්නේ නැහැ මඟීන් සංඛ්‍යාව සම්පුර්ණ වූ පසුව ඔවුන් අතරමඟ නවත්වන්නේ නැහැ. නියමිත වේලාවට ඔවුන්ට තම ගමනාත්තයට ළගා විය හැකියි. මේ බස් රථය තුළදී නොමිලේ වයිෆයි පහසුකම් ලැබෙනවා. ඔවුන්ගේ කාර්යාලීය අවශ්‍යතාවයක් තම පරිගණකය හරහා සිදු කර ගත හැකි වෙනවා. සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් මෙහිදි අය කළත් කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් වලට අනුව ගමන් කිරීමට හැකි වීම, බස් රථය තුළ වයි ෆයි පහසුකම්, මෘදුකාංගයක් මඟින් බස් රථයේ තොරතුරු දැන ගැනීමට හැකිවීම, සීමිත නැවතුම්වල පමණක් නැවැත්වීම, වඩාත් නම්‍යශීලි සේවාවක් ලබා දීම, අඩු කාලයකින් ගමනාන්තයට ළගා වීම, ආචාරශීලි සුහදශීලි ආකර්ෂණීය සේවාවක් ලබා දීම, තාක්ෂණය උපයෝගී කරගනිමින් දිනපතා සිදු කෙරෙන පසු විපරම සහ Clock wise සහ Anti clock wise ගමන් මාර්ග දෙකක් සහතික වීම නිසා වඩාත් ආකර්ෂණීය භාවයක් උදාවී තිබෙනවා.

ගමන් අවශ්‍යතාවය අනුව නව බස් රථ සේවා අරම්භ කිරීම ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනවා, තමාටම වෙන් වූ අසුනක් , Low Flooor AC Busses මෙන්ම ඉතිරි පිවිසුම් මාර්ග 05න් නව සේවා ආරම්භය මෙහි ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන සේවාවන්ය.

මේ ව්‍යාපෘතිය සඳහා වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව එක්ව ආරම්භ කෙරෙන නව ව්‍යාපෘතිය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, 3K ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගර සභාව සම්පත් දායකත්වය ලබා දෙනවා.

නව අදහස දක්වන්න