අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්මත කර ගන්න පක්ෂ-විපක්ෂ සියලු දෙනා සහාය දෙන්න | දිනමිණ

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්මත කර ගන්න පක්ෂ-විපක්ෂ සියලු දෙනා සහාය දෙන්න

මන්ත්‍රී පාඨලී චම්පික රණවක 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත පක්ෂ- විපක්ෂ සියලු දෙනාගේ එකඟතාවයෙන් සම්මත කර ගැනීමට ආරාධනා කරන බවත් අධිකරණ ඇමතිතුමාත් මේ පිළිබඳව ඝෘජු මැදිහත්වීමකින් ක්‍රියා කරාවි කියා බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ මෙතෙක් කල් පැවැති අඩුපාඩුවක් නිරාකරණය කිරීමට නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරයේ මැදිහත්වීම ඉතාමත් වැදගත් සේවාවක් යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් කීවේය.

ඒ මහතා ඉකුත් (22) දින පැපිලියානේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවත්නා අනපනත් සංශෝධනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

"අධිකරණයට අපහාස කිරීම පිළිබඳව විමර්ශන කටයුතු සදහා සම්පූර්ණ බලය අධිකරණය සතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නමුත් එය කවර පටිපාටියකට සිදුකරන්නේද යන්න පිළිබඳව අන පනත් නොවීම නිසා ඒක බරපතළ සමාජ ගැටලුවක් වුණා. ඒ බව පසුගිය කාලයේ අපේ රටේ වුණු සිදුවීම්වලින් පෙනී ගියා. අවසන් වශයෙන් රන්ජන් රාමනායක මහතාගේ සිදුවීමත් එයින් එකක්ද වනවා.

අධිකරණය තමන්ගේ නඩුවක් තමන් අසද්දී කිසියම් විශේෂ යුක්තිගරුකභාවයෙන් පවත්වාගෙන යා යුතුයි. සමහර අවස්ථාවල ඉන්දියාවේ විනිසුරුවරුන් මෙවැනි අපහාස කාරණා සම්බන්ධයෙන් සංයමයකින් කටයුතු කරපු බව ඇතැම් නඩු තීන්දුවලින් පෙනී යනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රසිද්ධ ලේඛිකාවක් වන අරුන්දතී රෝයි මහත්මියට එරට අධිකරණය දුන්නේ එක් දිනක සිර දඬුවමක් පමණයි.

අපේ අධිකරණයටත් මේ අඩුපාඩු තියනවා. රන්ජන් රාමනායක සිද්ධිය රටේ ප්‍රකම්පනයට හේතු වෙලා තියනවා. මේ නීති ප්‍රතිසංස්කරණය ගෙන ඒම කෙසේ වුවත් මේ පිළිබඳව රටේ සංවාදයක් අවශ්‍යයි. ඒ නිසා මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර පමණක් නොවෙයි නීති විශාරදයන් හා සෙසු අය අතරත් සංවාදයක් අවශ්‍යයි.

ඇතැමුන් හිතන විදියට මෙය දේශපාලනඥයන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවෙයි. මෙය ආර්ථික ප්‍රශ්නයක් වෙනවා. මොකද අපට එන ආයෝජන, අපෙන් සිදුවන අපනයන මිල දී ගන්නා රටවල් අපට ලැබෙන විදේශ ණය, විදේශ වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමට ගන්නා උත්සාහය එකට ගැට ගැහිලා තිබෙන බව විතරක් අප මතක තබා ගත යුතුයි.

ඒ නිසා මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට කළ යුතු වෙනස්කම්, එකතු විය යුතු නව නීති වෙනුවෙන් අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕනෑ." යැයිද මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

සෙනවිරත්න කහටපිටිය බොරලැස්ගමුව සමූහ

නව අදහස දක්වන්න