යුක්තියේ සටහන පාස්කු කොමිෂන් සභා වාර්තාව | දිනමිණ

යුක්තියේ සටහන පාස්කු කොමිෂන් සභා වාර්තාව

තිස් වසරක් සාපලත් යුද්ධයෙන් අපේ වීරෝධාර රණවිරුවන් සිදු කළ අපමණ කැප කිරීමෙන් රට මෙන්ම රටේ දරුවන්ගේ අනාගතයද මුදා ගැනීමට හැකි වූයේ 2009 වසරේදීය. ජාතියක් ලෙස වෙනම රාජ්‍යයක් ඉල්ලා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් උතුරු නැඟෙනහිර දරුවන්ට අවි අතට දුන්නේය. උතුරට වෙනම රාජ්‍යයක් ඉල්ලා කළ සටන පරාජය කරමින් එවකට රාජ්‍ය නායකයා වූ හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා රටට නිදහස ලබා දුන්නේ විරෝදාර රණවිරුන් එක්ව කළ මානුෂීය මෙහෙයුමෙන් පසුවය. ඒ 2009 වසරේදීය.

එතෙක් මෙතෙක් පැවැති කාලය තුළ රට සංවර්ධන ජය මාවත කරා ගෙන යන්නට එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සිදු කළ කැප කිරීම අපමණය. අද වනවිට එහි ප්‍රතිඵල අප බුක්ති විදිමින් සිටින්නේ ය. බහුවාර්ගිව බහු ආගමික රටක් ලෙස අනාදිමත් කාලයක සිට සමගියෙන් සාමයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකාවේ මහ ජාතිය සිංහල බව නොරසහසකි. රටේ පැවැති සමගිය සමාදානය බිඳිමින් නැවතත් අපට එවැනිම ව්‍යසනයකට 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා මුහුණ පෑමට විය. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිහිකරමින් පවත්වමින් තිබූ අළු බදාදා ආරම්භ කළ තතාරික සමය අවසන් වී කතෝලික දේවස්ථානයන්හි පවත්වන පාස්කු ඉරුදින දේවමෙහෙයන්ට එල්ලවූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයයි. ඉස්ලාම් අන්තවාදීන් ලෙස සංවිධානය වූ අතලොස්සක් මුස්ලිම් තරුණ පිරිසක් ගෙන ගිය අන්තවාදී වැඩ සටහනක ප්‍රතිඵයක් ලෙස මේ රටේ පාස්කු ඉරු දින රෝමානු කතෝලික දේවස්ථාන 2කට සහ එක් කිතුණු පල්ලියක්, තරු පහේ හෝටල් කිහිපයකට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශ ජාතිකයක් ඇතුළු 269ක දෙනෙකුගේ ජීවිත අහිමි වූයේ 500ට අධික පිරිසකට තුවාල සිදු කරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් බවට කිතුණු දේවස්ථාන පත් විය. එම දේවස්ථාන වල දේව මෙහෙයන් පවත්වන අවස්ථාවේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීමද ප්‍රශ්නාර්ථයකි. 2019 අප්‍රේල් 21 සිදු කෙරුණු පාස්කු ප්‍රහාරයට පෙර දින ගල්කිස්ස ස්කෑන් ටවර්සිහිදී ප්‍රහාරකයන් පැවැත් වූ බව කියන ප්‍රහාරයට හේතු දක්වමින් පටිගත කළ දර්ශනයේ කිතුණුවන් ඉල්ලක කළ බවට සඳහන් වී තිබීමද විශේෂත්වකි.

සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන දකුණු ආසියාවේ සිදුවූ දරුණුම ප්‍රහාරය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ අයිඑස් සංවිධානයේ අන්තවාදී ප්‍රහාරය හැඳින්විය හැකිය. එල්ටීටීඊ ත්‍රස්තවාදී සමයේ වුවද එක් දිනක් තුළ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන එවැනි ප්‍රහාර එල්ල වූයේ නැත. මේ ම්ලේච්ඡ ප්‍රහාරය සැලසුම් කළ මොහොතේ සිට ප්‍රහාරය එල්ල කළ අවස්ථාව දක්වා වූ සිදුවීම් මාලාවම අප රටේ බුද්ධි අංශ වෙත වාර්තා වී තිබූ නමුත් එය වළක්වා නොගත් බවට සමාජයෙන්ම මතයක් ගොඩ නැඟුණේ ප්‍රහාරයෙන් පසුව එක් එක් පාර්ශ්වයන් විසින් සිදු කළ ප්‍රකාශ නිසාය. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 වසරේ සැප්තැම්බර් මස 20 වනදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේය. එම කොමිසමේ සභාපති විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා පත් කරනු ලැබීය. ඉන් පෙර පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මෙන්ම පාර්ලිමේන්තු තේරිමි කාරක සභාවක් පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ මළල්ගොඩ, හිටපු පොලිසපති එන්.කේ ඉලංගකෝන් සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන අයගෙන් මෙකී කමිටුව සමන්විත විය. පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදින් සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පසුගිය පෙබරවාරි මස (01) දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම කොමිසමේ සභාපති විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, අනෙකුත් කොමසාරිස්වරුන් වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරී යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල සහ කොමිසමේ ලේකම් බුවනෙක හේරත් මහතා විසින් භාර දෙනු ලැබීය. එම කොමිසමේ කාලය ජනවාරි මස (31) අවසන් වූ අතර වසර එක හමාරකට ආසන්න කාලයක් පැවැති කොමිසමේ අවසන් වාර්තාව පිටු දහසකින් පමණ සමන්විතය. සමස්ත විමර්ශනයට අදාළ සාක්ෂි සම්පිණ්ඩන සහ ඇමුණුම් සමඟ පිටු ලක්ෂයකට අධික ප්‍රමාණයක් විය.

2019 සැප්තැම්බර් මස 20 ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අනුව කොමිසම ඔක්තෝබර් මස 31 දින සිට 2021 ජනවාරි 28 වනදා දක්වා එහි කටයුතු සිදු කළේය. ගැසට් පත්‍රයක් මගින් පත් කළ කොමිසම දින 214ක් රැස් වී ඇති අතර පුද්ගලයන් 457 දෙනෙකුගෙන් සාක්ෂි, අවස්ථා 640 කදී මෙහෙයවා තිබුණි. එමෙන්ම කොමිසම හමුවේ රහස්‍ය ලේඛන 640ක් සහ ලේඛන 1556ක් ගොනු කර ඇති අතර පුද්ගලිකව ගොනු කළ ලේඛනද කොමිසමට ඉන් පිටස්තරව භාර දී තිබුණි. ප්‍රහාරය සිදු කරමින් මියගිය ස්වයං ඝාතක බෝම්බකරු වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් සහරාන් හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාද, සහරාන්ට සමීපව කටයුතු කළ අබ්දුල් ගෆූර් මොහොමඩ් නොහොත් ගෆූර් මාමාද, දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේදී බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය ෆාතිමා ජෙෆ්රි නැමැත්තියගේ සහෝදරයකු ද , දෙහිවල ට්‍රොෆිකල් ඉන් ලැඟුම්හලේදී බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය ජමීල් මොහොමඩ් නැමැත්තා ගේ බිරිඳ ඇතුළු ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් සැලකිය යුතු පිරිසකගෙන් ජනාධිපති කොමිසම විවෘතව සහ රහසිගත සාක්ෂි විමසනු ලැබීය. එසේම මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිල වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ආරක්ෂක ඇමැති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, රුවන් විජේවර්ධන, විජේදාස රාජපක්ෂ, සාගල රත්නායක. කෙහෙළිය රඹුක්වැල්ල, දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අබ්දුල් හලීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර, ඇතුළු මැතිඇමැතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඇතුළු කටුවාපිටිය දේවමෙහෙය පැවැත්වූ සමීර රුද්‍රිගු, කොච්චිකඩේ දේවමෙහෙය පැවැත්වූ ජෝයි මරියරත්නම් පියතුමා ඇතුළු පියතුමන්ලා පිරිසක්ද අන්තවාදය පිළිබඳ මෙරට කරුණු අනාවරණය කර ගැනීමට, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද සාක්ෂි ලබා දුන්නේය. එසේම ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා එල්ල වී තිබූ රාජ්‍ය නිලධාරින් ප්‍රහාරය සිදු වන අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු හමුදාපති මහේෂ් සේනානායක, හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු,, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගෙන් සාක්ෂි විමසීනු ලැබීය.

එම විනිසුරු මඩුල්ල වසරකට වැඩි කාලයක් සිදු කළ සාක්ෂි විමසීම් වලින් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එහි වාර්තාව භාර දෙනු ලැබීය. තමන් බලයට පත්වුවහොත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් ප්‍රතිඥාවකි. බලයට පත්ව වසරකුත් මාස දෙකක් ඉක්ම යාමෙන් අනතුරුව පෙබරවාරි 04 වෙනි දින නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිව යුත්තන්ට නීතියෙන් ගැලවීයාමට ඉඩ නොදෙන බවය. එම කොමිසම විසින් ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන් සොයා බැලීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් කඩිනමින් සුදුසු පියවර ගැනීම පහසු කරලීම උදෙසාය. එමෙන්ම එහි පිටපත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුනේ ඉකුත් (22) සඳුදාය. මේ වාර්තාව පෙරේදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එහි පිටපතක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්වීමත් සිදු කෙරිණි. කිසිවක් නොසඟවා සියලු දේ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. එම වාර්තාවට අනුව පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතු යැයි නිර්දේශ කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශ ද ඉදිරිපත් කර තිබේ. 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබූ අතර හිටපු ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ වාර්තාවේ ඔහුට එරෙහිව නිර්දේශ ඉදිරිපත් වී තිබේ. හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක් වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමට ප්‍රධාන හේතුවක් බවද කොමිසන් සභාව පෙන්වා දී තිබුණි. ඉස්ලාම් අන්තවාදය පාස්කු ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට එය පහසුකම් සපයන්නක් බවද කොමිසන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසකටද චෝදනා ගොනුකළ හැකි බවට කොමිසම නිර්දේශ කර ඇති බවට වාර්තා වේ.

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පවසා සිටියේ ඉවසීම ගැනය. ඔබේ වම් කම්මුලට යමෙක් ගැසූ විට දකුණු කම්මුලද දිගු කරන්නට කියා යේසුස් වහන්සේ පැවැසූ වදන් තම ජනයාට සිහිපත් කර දුන්නේය. ජාතීන් අතර සමගියෙන් හා ඉවසිමෙන් කටයුත් කිරීම අවශ්‍ය බවත් කොමිසම ගැන විශ්වාසයෙන් කටුයුතු කරන ලෙසත් උන්වහන්සේ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ වනවිට ඒ වාර්තාව ජනගත වී තිබේ.

කොමිසමේ අවසන් වාර්තාවෙන් පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශකර ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදු කිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවත් පූජිත් ජයසුන්දර මහතා, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවත් නිදේශ ඉදිරිපත්ව තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කර ඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබූ අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ යුතු බවට කොමිසම නිර්දේශ කර ඇති බව වාර්තා විය. එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර තිබුණි.

බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කර ඇති අතර පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකා බැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ ප්‍රකාශ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව කොමිසම තවත් නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණි. වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වී තිබූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දීමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත. මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේදී මරණ සංඛ්‍යාව අවම කරවීම සඳහා නිර්භීතව කටයුතු කළ අභාවප්ප්‍රාප්ත රමේෂ් රාජු ගේ සමීප ඥාතියාට රජය විසින් ත්‍යාග මුදලක් ගෙවිය යුතු බවට ද කොමිසම විසින් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් දක්වා ඇත.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම, වනාතවිල්ලුවේ වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරු ලබාදීම නිසා 2019 මැයි මස 09 වෙනිදා මාවනැල්ල ප්‍රදේශයේ සිය නිවසේ නිදා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් යන අයගේ ආරක්ෂාව සැපයීමට සහ ඔහුගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට අවශ්‍ය බැවින් ඊට අදාළ ප්‍රතිපාදනයන් රජය විසින් දැරීමට ද මෙම කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, ඔවුන්ගේ ආරක්‍ෂිත නිවාස සොයා ගැනීම වැනි කටයුතුවල නිරතවු ආරක්ෂක අංශ නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට ද නිර්දේශ ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවේ එම ගොනුව භාරව සිටි නිලධාරින් දෙදෙනාටද රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා නිසි පියවර ගන්නා ලෙස කොමිසම සිය නිර්දේශ ඉදිරිපත් කරමින් දැනුම් දී තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 32කට ඍජුවම මිනීමැරීමේ හා ඊට කුමන්ත්‍රණය කිරීම් යටතේ පාස්කු ප්‍රහාරට අදාළ නඩු පැවැරෙන අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින 241 දෙනකුටද පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කටයුතු කිරීම වෙනුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතය.

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගිය ඉන්ෂාෆ් අහමඩ් ඇතුළු සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඊබ්‍රහිම් දෙමටගොඩ මහවිල උද්‍යානයේදී අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් හාජියාර් ඇතුළු පිරිසක්ද ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු 200 අධික පිරිසක් රඳවා ප්‍රශ්න කරමින් සිටිති.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව මෙරට දී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයට යෑමට සූදානම් බව කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පසුගියදා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය. කවර ආගමකට කුමන ජාතියකට අයත් වුවද ඒ මියගොස් තිබුනේ මෙරට ජීවත් වූ නිරායුධ අහිංසක වැසියන්ය. කුඩා දරුවන්ගේ හිස් මොළ සෙල්ලම් බෝණික්කන්ගේ ඔලු මෙන් දේවස්ථාන වල හෝටල් වලදී මිබ පතිත වී තිබුණේ ය. දරුවන්ට දෙමාපියන් අහිමි කරමින් දෙමාපියන්ට දරුවන් අහිමි කරමින්, සහෝදරයන් අහිමි කරමින් මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වුණි. එකම වේලාවකදී කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානයට සහ මඩකලපුව සියොන් දේවස්ථානයට ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. මෙකී ව්‍යසනයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය පසිඳලීමට වත්මන් රජය සාධනීය මැදහත්වීම් සිදු කරනු බව කොමිසන් වාර්තාවෙන් පෙන්නුම් කරනු ඇත.

 

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න