යළි පිබිදෙන සීනි කම්හල් | දිනමිණ

යළි පිබිදෙන සීනි කම්හල්

අධිපරිභෝජනවාදී සමාජ ආර්ථික රටාවක මුළු ලෝකයටම සීනි නැතුවම බැරි අත්‍යවශ්‍ය වෙ‍ෙළඳ ද්‍රව්‍යයකි. වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයට කිසියම් සීනි ප්‍රමාණයක් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. එහෙත් ශරීරයේ සීනි ප්‍රමාණය ඉහළ ගිය විට මධුමේහය හෙවත් දියවැඩියාවට ගොදුරු වන්නේය. ඒ අනුව ශරීරයේ සීනි මට්ටම පාලනය කරගත යුතු බවට වෛද්‍යවරු නිරන්තරයෙන්ම අනතුරු අඟවති. කෙසේ වෙතත් මිනිස් සිරුරට ඇතුවත් බැරි, නැතුවත් බැරි සීනි මිනිස් පරිභෝජනයට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයකි.

ලෝකයේ සීනි නිෂ්පාදනය ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් රටවල් රැසකි. විශේෂයෙන් දකුණු අමෙරිකාවේ පිහිටි බ්‍රසීලය, කියුබාව ඇතුළු රටවල ප්‍රධාන ආදායම් මාර්ගය උක් වගාව ආශ්‍රිත සීනි නිෂ්පාදනයයි.

ලෝකයේ ඉතා විශාල කර්මාන්තයක් වන සීනි නිෂ්පාදනයේ වාර්ෂික ධාරිතාවය මෙට්‍රික් ටොන් දසලක්ෂ 170කි. බොහෝ රටවල ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 31කි. ශ්‍රී ලංකාවේ ද ඒක පුද්ගල සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 31 දක්වා ඉහළ ගොස් ඇත. දළ වශයෙන් එය කිලෝග්‍රෑම් 33ට ආසන්න ප්‍රමාණයකි.

සීනි පිළිබඳව අපේ රටේ ඉතිහාසය සොයා බැලීමේදී පෙර රජදවස පටන් උක් හකුරු නිෂ්පාදනය පැවැති බවට තොරතුරු හමුවේ. උක් වගාව ඉන්දියාවෙන් ආරම්භ වූ බවට උක් ගස ගැන තොරතුරු සොයා යෑමේදී හමුවෙයි. ඒ අනුව උක් ගසේ නිජබිම බොහෝදුරට ඉන්දියාවයි. ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මැසිඩෝනියානු සොල්දාදුවන් උක් ගස ඉන්දියාවේ සිට යුරෝපයට ගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. චීනය ද උක් වැවීමට ආදර්ශය ගත්තේ ඉන්දියාවෙනි.

ලෝකයේ ප්‍රධාන පෙළේ උක් වගාකරුවන් සහ සීනි නිෂ්පාදකයන් අතුරින් චීනය ද වර්තමානයේ ඉහළ අගයක් ගත් ආසියාතික රටකි.

සමෘද්ධිමත් දේශයක්

ශ්‍රී ලංකාවේ ජනයා සීනි භාවිතයට හුරුවීම ගැන නිශ්චිත දින වකවානු පිළිබඳව විවිධ අදහස් ඇත. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේ (1805 - 1812) ලේඛනවල සීනි පිළිබඳව සඳහන් වේ. තවද මැනිං ආණ්ඩුකාරවරයාගේ යුගයේ පැවැති සීනි ගබඩාව පසුකලෙක කොළඹ මැනිං වෙළෙඳපොළ බවට පත් විය. මෑතකදී පෑලියගොඩට එළවළු මාර්කට් එක රැගෙන යනතුරු කොළඹ මැනිං මාර්කට් එක වශයෙන් භාවිතා කළේ පැරණි සීනි ගබඩාවයි. දේශීය ආර්ථිකයක් තුළින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීම 1956 පිහිටවූ ප්‍රගතිශීලී ආණ්ඩුවේ එකම අරමුණ විය. එය හුදෙක්ම පොදු අරමුණක් වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ ජනසතු ව්‍යාපාරයකි. ඒ අනුව වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, පොහොර සංස්ථාව, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව, ඉංජිනේරු සංස්ථාව, කඩදාසි සංස්ථාව, රාජ්‍ය දැව සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය මැණික් සංස්ථාව, ලුණු සංස්ථාව, රාජ්‍ය ස්කාගාර සංස්ථාව ආදී සංස්ථා අතරට සීනි සංස්ථාව ද එක්වූයේ ජාතික ආර්ථිකයට සීනි නිෂ්පාදනය ද විශාල දායකත්වයක් සපයන වෙළෙඳාමක් නිසාය. ඒ අනුව 1960 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සංකල්පයක් අනුව යමින් හිඟුරාණ, කන්තලේ, සෙවණගල, පැල්වත්ත ආදී වශයෙන් කර්මාන්ත ශාලා 04ක් ආරම්භ කළේ දේශීය සීනි අවශ්‍යතාවය සපුරාලීමටය. කිසිදු විදේශ රටකින් සීනි ආනයනය නොකොට අපේ රටේම සීනි නිෂ්පාදනය කිරීමට ඒ තුළින් හැකි විය.

1960 වසරේ ආරම්භ වූ අපේ රටේ සීනි නිෂ්පාදනය ඉතා සාර්ථක අන්දමින් පවත්වාගෙන යෑමට පුළුවන් වූයේ සේවකයන්ට ද ප්‍රතිලාභ අත්පත් කර දෙමිනි. 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සකස් වී තිබුණේ ලාභ ලබන ආයතන සියල්ල ජනතා පාලනයෙන් වෙනස්කොට මුදලාලිකරණය කිරීමේ කූට වැඩපිළිවෙළයි. රාජ්‍ය සංස්ථා පමණක් නොව මණ්ඩල ද කිසිදු හේතුවක් නැතුව තම ගජමිතුරන් පිනවීම සඳහා පෞද්ගලිකකරණය කළේ සිත් පිත් නැත්තන් සේය. සේවකයන්ගේ විරෝධය නොතකා මේ සියලු ආයතන පෞද්ගලිකකරණය කිරීමේ කටයුත්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉතාම පහත් අයුරින් පවත්වාගෙන ගියේය. ජේ. ආර්. ජයවර්ධන පාලන කාලයේ සීනි සංයුක්ත මණ්ඩලය හිඟුරාණ, කන්තලේ, සෙවණගල, පැල්වත්ත පෞද්ගලිකකරණයට අත තැබුවේ නැත.

ගජමිතුරු පාලනය

එහෙත් ජේ. ආර්. ජයවර්ධනගෙන් පසුව බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස යුගයේ සමස්ත වතු ආර්ථිකයම පෞද්ගලිකකරණය කළේ පාඩු ලබන ආයතන බවට හඟවමිනි. එහෙත් ඉතා දක්ෂ නිලධාරීන් වතු පාලනයේ සිටියදී පළිබෝධනාශක සමාගම්කාරයන් මෙන්ම තම ගජමිතුරන් පිනවීමට ලාභ ලැබූ වතු සියල්ලම පෞද්ගලිකකරණය කළේ රාජ්‍ය අංශයේ කොඳුනාරටිය කඩා බිඳ දමමින් බව සිහිපත් කළ යුතුව ඇත. 1993දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය යටතේ ලාභ ලබමින් තිබූ සීනි සංයුක්ත මණ්ඩලය විකිණීමට පිඹුරුපත් සකස් කළේ සේවක විරෝධය නොතකාය. මේ වන විට හිඟුරාණ සීනි සංයුක්ත මණ්ඩලයේ පමණක් මුළු වටිනාකම කෝටි 1000 පමණ බව රජයේ තක්සේරුව විය. මේ තක්සේරුව පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා පිටකොටුවේ සීනි ආනයනය කරමින් සිටි ආරුමුගම් වීරබාහුට රුපියල් කෝටි 13කට මේ ආයතනය විකිණීමට තීරණය කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. කෝටි 13කට සීනි සංයුක්ත මණ්ඩලයට අයත් හිඟුරාණ මිලදී ගත් ආරුමුගම් වීරබාහු රජයට ගෙවා ඇත්තේ කෝටි තුනහමාරක මුදලකි. එම මුදල ද ගෙවා ඇත්තේ බැංකු අණකරයකිනි. ඒ වන විට මේ ආයතනයේ තිබූ සියලුම යකඩ මැලේසියාවට පටවා මුදල් සොයාගත් ආරුමුගම් වීරබාහු සීනි ආයතනය උකසට තබා මහජන බැංකුවෙන් විශාල ණය මුදලක් ද ගැනීමට කටයුතු කළේය. පැවැති සේවක විරෝධයන් හමුවේ ආරුමුගම් වීරබාහුගේ පාලනයෙන් ද සීනි සමාගම් තව තවත් පිරිහී ගොස් වසා දැමීමේ තත්ත්වයට පත් විය.

1994 බලයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ ද සීනි සමාගම පවත්වාගෙන ගියද තවදුරටත් පවත්වා ගෙන යෑමට නොහැකිවීමෙන් පසු සීනි සමාගම වසා දැමීමට තීරණය කළේය.

වසා දැමූ රාජ්‍ය ආයතන නැවත නඟාසිටුවීමට 2005 වසරේ ජනාධිපතිවරයා වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව 'මහින්ද චින්තනය' යථාර්ථයක් බවට පත්කරමින් 2006 වසරේදී හිඟුරාණ සීනි සමාගමේ වැඩ ආරම්භ කළේ ජනතාවට තිත්ත වූ සීනි නැවත පැණි රස කරමිනි. කන්තලේ සීනි කර්මාන්තශාලාව ද චෙකොස්ලොවෙකියා රජය ලබා දුන් ප්‍රදානයකි. 1960 ඔක්තෝබර් 02දා ආරම්භ වූ කන්තලේ සීනි කර්මාන්තශාලාව විවෘත කළේ ද එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. උක්ගසේ සියලු කොටස්වලින් ප්‍රයෝජන ගැනීමට හැකි වීම එහි ඇති වටිනාකමයි.

යහපාලනය

මද්‍යසාර නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් මඟින් විශාල ආදායමක් උපයා ගැනීමට පුළුවන්කම ඇත. සුවඳ විලවුන්, ඖෂධ සඳහා අවශ්‍ය එතනෝල් ප්‍රමාණය වසරකට ලීටර් මිලියන 35කි. තවද උක් රොඩුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකිය. මේ අනුව උක් ගසෙන් ලැබිය හැකි ආර්ථීක වාසි උපරිමයෙන් ගැනීමට දියුණු යන්ත්‍ර සූත්‍රවල අවශ්‍යතාවය ද ඇත. පසුගිය යහපාලන ආණ්ඩුව ක‍ාලයේ කන්තලේ සීනි සමාගම පිළිබඳව අසන්නට ලැබුණේ ද අල්ලස් චෝදනාවකි. යහපාලන ආණ්ඩුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක රුපියල් කෝටි දෙකක පමණ මූල්‍ය අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී. කන්තලේ සීනි කර්මාන්තශාලාව ඉන්දියානු සමාගමකට පැවරීමට අදාළ මුදල් ගනුදෙනුවක් යටතේ මේ අල්ලස් චෝදනාව ඔවුන්ට එල්ල වී තිබුණි. නීතියෙන් ඒ චෝදනාව ඔප්පු වී ඇති නිසා ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් බවට පත් විය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දේශීය නිෂ්පාදනවලට ඉහළ වටිනාකමක් දීමට ගන්නා උත්සාහයේදී සීනි නිෂ්පාදනය කෙරෙහි ද ඒ මහතාගේ විශේෂ අවධානය යොමු විය.

ඒ අනුව ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙළකට අනුව සීනි සමාගම දිනෙන් දින ඉදිරියට පැමිණෙන්නේ අපේ ආර්ථිකයටත් ශක්තියක් ‍එක්කරමිනි.

ලංකා සීනි සමාගම සෙවණගල සහ පැල්වත්ත 2019 වසරේදී රුපියල් මිලියන 1310ක ශුද්ධ අලාභයක් දැරූ සමාගම 2020 වසරේ රුපියල් මිලියන 1360ක ලාභයක් ලබා ඇත. මෙය වසර 25ක ලංකා සීනි සමාගමේ ඉතිහාසයේ අත්කර ගත් වැඩිම ලාභයයි. එමෙන්ම වසර 5 ඉක්මවූ අනියම් හා කොන්ත්‍රාත් පදනම් සේවය කරනු ලැබූ සේවකයන් 2000ක් පමණ ස්ථිර සේවකයන් බවට පත්කොට ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇතිකොට ඇත. විශේෂයෙන් සේවකයන් වෙනුවෙන් මෙවැනි ප්‍රතිපාදන ඇතිකිරීමට හැකියාව ඇත්තේ නිසි කළමනාකාරීත්වයකින් මේ ආයතනය ඉදිරියට යෑම නිසාය.

දිරි දීමනා

2013 වසරේ සිට ගෙවා නොතිබූ ජීවන වියදම් දීමනාවෙන් අඩක් වූ රු. 3900 (රජයේ චක්‍රලේඛයන්ට යටත්ව) සේවකයන්ගේ මාසික වැටුපට එකතු කර ඇත. සියලුම සේවකයින් සඳහා දිරි දීමනා සහ ප්‍රසාද දීමනා වශයෙන් අප්‍රේල් මාසයේ උත්සව දීමනාවක් ප්‍රදානය කිරීම සෙවණගල ආයතනයේ එක් සේවකයෙකුට මසක වැටුප හා රු. 75,000/-ක් ද, පැල්වත්ත ආයතනයේ එක් සේවකයෙකුට රු. 25,000ක් වශයෙන් ආයතනය තුළ වසර ගණනාවක් ලබා නොතිබූ සේවකයන්ගේ ශ්‍රේණි උසස්වීම් (පැල්වත්ත 700, සෙවණගල 200) ලබාදීමෙන් මානව සම්පත් කළමනාකරණයට අඩිතාලම දමා ඇත. වසර 5කට පසු ගොවීන්ගේ උක් මෙ. ටො. 01ක් සඳහා 10%කින් උක් මිල වැඩි කිරීමත් සිදුකරන ලදී. (මෙ. ටො. එකක ගැණුම් මිල රු. 5000/- සිට රු. 5500/- දක්වා වැඩි කිරීමත්, කර්මාන්ත ශාලා දෙකෙහිම පෙර වසරේ සපයනු ලැබූ සෑම මෙ. ටො. 01ක් සඳහාම ගොවීන් හට ප්‍රසාද දීමනාවක් ප්‍රදානය කොට ඇත. (සෙවණගල ගොවීන් සඳහා උක් මෙ. ටො. 01කට රු. 300/- ක් හා පැල්වත්ත ගොවීන්ට රු. 100/-ක් බැගින් ගෙවා ඇත.) කර්මාන්තශාලා දෙකෙහිම ගොවීන් සඳහා ඔවුන් වසරකට සපයනු ලැබූ උක් ප්‍රතිශතය මත පිහිටා දිරිදීමනා ලබාදීමට පියවර ගැනීම, ගොවීන් උක් වගාකිරීමට දිරිගැන්වීම සඳහා 50%ක බීජ උක් සහනාධාරයක් සහ 50% බිම් සකස් කිරීමේ සහනාධාරයක් ලබාදීම, වසර 20කට පසු පැල්වත්ත ප්‍රදේශයේ හෙක්ටයාර් 3500ක් සහ සෙවණගල ප්‍රදේශයේ හෙක්ටයාර් 500ක් ලෙස නව ඉඩම්වල අලුතින් උක් වගාකිරීමට කටයුතු කිරීම යොදා ඇති අතර, මේ ව්‍යාපෘතිය මඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා දහසක් ජනනය කිරීමට අපේක්ෂිතය.

තිරසර විසඳුම

පොහොර ලේකම් කාර්යාල‍යේ සහාය ඇතිව වසර ගණනාවක් පුරා නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන පොහොර හිඟකම පිළිබඳ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීම. සමුපකාර හා ලංකා සතොස අලෙවිසැල් ඇතුළු රජයේ ආයතනවලට අඛණ්ඩව සීනි සැපයීම සහතික කිරීම. වසර 35ක් සෙවණගල කර්මාන්තශාලාවට කිරීමට නොහැකිව තිබූ සෙවණගල ව්‍යාපාරයේ දෙවන අදියර, රජයේ ප්‍රතිපාදන උපයෝගි කර‍ගනිමින් මේ වසරේදී දියත් කිරීමට කටයුතු කිරීම නියමිතය. මේ මඟින් සෙවණගල සීනි කර්මාන්තශාලාවේ දිනක ඇඹරුම් ධාරිතාවය 1250 TCD හා 1500 TCD දක්වා ඉහළ නැංවීම මඟින් අමතර උක් මෙ. ටො. 60,000ක් ඇඹරීමේ හැකියාව හිමිවන අතර මේ ඇඹරුම් ධාරිතා අවශ්‍යතාවය සපුරාලීමට අමතරව ගොවීන් 600ක් පමණ උක් වගාවට සම්බන්ධ කරගැනීමට අපේක්ෂිතය. (ඇස්තමේන්තු රුපියල් මිලියන 500කි.)

විශේෂයෙන් සීනි නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට මෙන්ම දේශීය ආර්ථීකය නඟාසිටුවීමට පැල්වත්ත, සෙවණගල සීනි සමාගම් ඉටුකරන කාර්යභාරය මැනවින් පෙළගස්වා නිසි කළමනාකාරීත්වයකින් ඉදිරියට යෑම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්මට’ විශාල ආශීර්වාදයකි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය වැඩි වශයෙන් වැයවන්නේ මෙරටට ඉන්ධන ගෙන්වීමටය. දෙවනුව වැඩිම මුදලක් වැය වන්නේ සීනි ආනයනය කිරීම සඳහාය. ඒ සඳහා වැයවෙන මුදල ඩොලර් මිලියන 350කි. දේශීය සීනි නිෂ්පාදනය වැඩිදියුණු කිරීමෙන් විදේශයට ඇදී යන මුදල් ප්‍රමාණය රට තුළම ඉතිරිකර ගැනීම අපි සියලු දෙනාගේම බලාපොරොත්තුවයි. එය සඵල කරගැනීම සඳහා උත්සාහවත් වීම අපි සැම දෙනාගේම ජාතික වගකීමක් හා යුතුකමක් වනු නියතය.

මහින්ද ආරියවංශ

නව අදහස දක්වන්න