නවසීලන්තය 2-0කින් පෙරට | දිනමිණ

නවසීලන්තය 2-0කින් පෙරට

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩුනේඩින්හිදී ඊයේ (25) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වෙයි.

මේ සමඟින් තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද නවසීලන්තයට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 219ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය සංචාරකයන්ට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 215ක් පමණි.

ලකුණු 87කට කඩුලු 3ක් අහිමිව තිබියදී පිටියට පිවිසි මාක්ස් ස්ටොයිනිස් වේගවත් ඉනිමක් දියත් කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සහ කළ ද අවසන් ඕවරයේ 5 වැනි පන්දුවෙන් ඔහු දැවී යෑමත් සමඟ එය අසාර්ථක විය.

හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 78ක් රැස් කළ ස්ටොයිනිස් වැය කළේ පන්දු 37ක් පමණි. ඔහු 7 වැනි කඩුල්ලට ඩැනියෙල් සැම්ස් සමඟ එක්ව පන්දු 40කින් ලකුණු 92ක් රැස් කිරීමට සමත් වූ අතර, එය විස්සයි20 පිටියේ 7 වැනි කඩුල්ලට ගොඩනැඟූ ඉහළම සබඳතාව ලෙස ද වාර්ත විය. සැම්ස් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 15කින් ලකුණු 41ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

නවසීලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් මාටින් ගප්ටිල් අවාසනාවන්ත ලෙස දැවී ගියේ ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටියදීය. පන්දු 50කට මුහුණ දුන් ඔහු හතරේ පහර 6කින් සහ හයේ පහර 8කින් ඉනිම වර්ණවත් කරගත් අතර, දෙවැනි කඩුල්ලට නායක කේන් විලියම්සන් සමගින් එක්ව පන්දු 70කින් ලකුණු 131ක සබඳතාවක් ගොඩනැඟීමට ද ඔහු සමත් විය. විලියම්සන් පන්දු 35කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් රැස් කළ අතර, ඉනිම අග භාගයේ වේගවත් පිතිහරඹයක නිරත වූ ජෙම්ස් නීෂම් නොදැවී ලකුණු 45ක් රැස් කළේ පන්දු 16කිනි. ඔහු හතරේ පහරක් සහ හයේ පහර 6ක් එල්ල කර තිබිණි. පන්දු යැවීමේදී කේන් රිචඩ්සන් කඩුලු 3ක් බිඳ දැම්මේය.

දෙපිල අතර, තෙවැනි විස්සයි20 තරගය මාර්තු 3 වැනිදා වෙලිංටන්හිදී පැවැත්වේ.

 

නව අදහස දක්වන්න