නෙට්බෝල් නායිකාවට කොරෝනා | දිනමිණ

නෙට්බෝල් නායිකාවට කොරෝනා

ප්‍රින්ස් ගුණසේකර

පුහුණු සංචිතය වහාම විසුරුවයි

ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායිකාවට කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් පුහුණු කටයුතුවල නිරත වෙමින් සිටි නෙට්බෝල් සංචිතය විසුරුවා හැරීමට පියවර ගනියි. හමුදා සේවයේ නිරත හිටපු නෙට්බෝල් නායිකාවගේ පීසීආර් පරීක්ෂණය රාජකාරි ස්ථානයෙන් සිදු කර ඇති අතර, එම පරීක්ෂණ වාර්තාව අනුව ක්‍රීඩිකාව කොරෝනා වයිරස ආසාදිතයකු බව නෙට්බෝල් සම්මේලනයට හමුදා අංශය මඟින් දැනුම්දී ඇත.

මේ බව දැනගත් වහාම ක්‍රීඩිකාව කටුනායක පිහිටි හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇති අතර, අනෙක් ක්‍රීඩිකාවන් සියලු දෙනා නිවෙස් වෙත යැවීමට කටයුතු යොදා තිබේ. කෙසේ වුවද දින තුනකින් පසුව නෙට්බෝල් සංචිතයේ සියලු ක්‍රීඩිකාවන්ට පීසීආර් පරීක්ෂණ කළ යුතු බව ක්‍රීඩා වෛද්‍ය ඒකකය දැනුම්දී ඇතැයි වාර්තා වේ. හිටපු නෙට්බෝල් නායිකාවගේ සමීප ආශ්‍රිතයන් සොයා ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ කඩිනම් කිරීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකය කටයුතු කරනු ඇත. ජාතික නෙට්බෝල් පිල භාරගත් පුහුණුකාරිණී සොමිතා ද අල්විස් මහත්මිය හා සහාය පුහුණුකාරිණී පී.ඩී.එන්. ප්‍රසාදී මහත්මියගේ උපදේශකත්වයෙන් මේ පුහුණුවීම් කටයුතු සිදු කළ අතර, ඔවුන් දෙනො ද පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීම සිදු කෙරේ. එමෙන්ම නෙට්බෝල් සංචිතයේ කටයුතු සොයා බැලීමට වරින්වර පැමිණි නෙට්බෝල් සම්මේලන නිලධාරිනියන් කවුදැයි හඳුනාගෙන ඔවුන් ද පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකය පියවර ගනී.

කොරෝනා වසංගතයෙන් වසරකට පමණ පසුව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය මෙයට සති කිහිපයකට පෙර පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබිණි. ටොරින්ටන් ක්‍රීඩා පිටියේ හා ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පරීශ්‍රයේ පුහුණුවීම් සිදු කරන අතර, නෙට්බෝල් ජාතික සංචිතයට ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ අරමුණින් ක්‍රීඩිකාවන් 40ක් මේ සඳහා එක්කොට සිටියහ. එම සංචිතයට ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව සිටියහ.

රට වටා සිටින නෙට්බෝල් පුහුණුකාරිණියන් මාර්ගයෙන් නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවන් සොයා මේ නෙට්බෝල් සංචිතයට එක් කර තිබූ අතර, පසුව මූලික සංචිතයක් ප්‍රකාශ කිරීම නෙට්බෝල් සම්මේලනයේ අපේක්ෂාව විය. මේ වසරේ දෙසැම්බරයේ සිංගප්පූරුවේ පැවැත්වෙන නේෂන් කප් නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කොට මේ පුහුණු කටයුතු ආරම්භ කෙරිණි.

නව අදහස දක්වන්න