මෝටර් රථ හා යතුරුපැදි ශූරයෝ අද - හෙට එළියකන්දේ | දිනමිණ

මෝටර් රථ හා යතුරුපැදි ශූරයෝ අද - හෙට එළියකන්දේ

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරට සංවිධාන කරන මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය (එළියකන්ද තරණය) අද (27) සහ හෙට (28) දෙදින මාතර බ්‍රවුන්ස් කන්ද කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

කොරෝනා වසංගතයෙන් වසරකට අධික කාලයක් නැවතුණු මෝටර් රථ හා යතුරු පැදි තරගාවලි අතරින් මේ වසරේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙයයි.

මීටර් 600 ක දුරකින් යුත් තාර ඇතිරූ, බැවුම් සහිත මාර්ගයක මේ තරග පැවැත්වෙන අතර, මෝටර් රථ ඉසව් 17කින් යතුරුපැදි අංශ දෙකින්ම ඉසව් 16කින් මෙවර තරගාවලිය සමන්විත වේ. එය අධියර තුනක්

යටතේ පැවැත්වීමට නියමිතය. පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් විශේෂ පුහුණු තරගයක් සංවිධාන කර නැති හෙයින් ක්‍රීඩකයන් පුහුණුවීමකින් තොරවම තරගවලට එක්වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් තරගකරුවන් 200කට ආසන්න පිරිසක් මෙවර තරගාවලියට සහභාගි වීම විශේෂත්වයක් බව සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති සංජය සේදර සෙනරත් මහතා පැවසීය.

යතුරුපැදි ධාවන තරග අද පැවත්වෙන අතර, මෝටර් රථ ධාවන තරග හෙට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ ඒ ඉසව්වල ජයග්‍රාහකයන්ට අමතරව, අඩුම කාලයකින් තරගය නිම කරන දක්ෂතම රියැදුරුට හා දක්ෂතම යතුරුපැදිකරුට ද විශේෂ තිළිණ ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. එහෙත් සෞඛ්‍ය නීති රෙගුලාසි අනුව ජයග්‍රාහකයන්ට සහතික පත් පිරිනැමීම තරගාවලිය අතරතුර සිදු නොකරන අතර, එම සහතිකපත් පසුව තැපැල් මඟින් යැවීමට සංවිධායකයන් තීරණය කර ඇත.

වැලිගම සමූහ - ටී.කේ. මහින්ද

නව අදහස දක්වන්න