කොවිඩ් මරණ භූමදානය කිරී‍මේ තීරණය පසුපස ඇත්තේ කොවිඩ් සඳහා එන්නත් කිරීමයි රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම | දිනමිණ

කොවිඩ් මරණ භූමදානය කිරී‍මේ තීරණය පසුපස ඇත්තේ කොවිඩ් සඳහා එන්නත් කිරීමයි රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

කොවිඩ් ආසාදනය වී මරණයට ලක් වන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කරනවාද භූමදානය කරනවාද යන්නට අවසර දීමට ආණ්ඩුව තීරණය කරනු ලැබුවේ කිසිවකුගෙන් වූ බලපෑමක් නිසා නොව කොවිඩ් එන්නත් ක්‍රියාවලිය වේගවත්ව සිදු වන නිසා යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

පාකිස්තාන අගමැතිවරයාගේ මෙරට සංචාරයෙන් පසු අදාළ අවසර දීම සිදු කිරීමට රජය කටයුතු කළ බවට මතයක් ඇති කිරීමට පිරිසක් උත්සහ කරන නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති යැයිද ඒ මහතා කීය.

අමෙරිකානු ඩොලර් මිලියන 120 ක වියදමින් මහනුවර නගරයේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමට පෙරේදා (27) පැමිණි අවස්ථාවේ අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය. කොවිඩ් මරණ භූමාදානය කළ හැකිද යන්න සොයා බැලීමට පත් කළ තාක්ෂණ කමිටුවේ නිර්දේශය වූයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සක්‍රීයව රටේ ක්‍රියාත්මක වන අවස්ථාවක කොවිඩ් මරණ භූමදානය කිරීම ගැටලුවක් නොවන බව යැයිද ඒ අනුව අදාළ අවසර දීම සිදු කිරීමට රජය තීරණය කරනු ලැබුවේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාස්කු දින ප්‍රහාරය සිදුවූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ බැවින් එහි වගකීමෙන් මිදීමට ජනපති, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු කණ්ඩායමට නොහැකි බවත් බුද්ධි අංශ ඒ සම්බන්ධ සියලු වාර්තා දී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගත් උදවිය අද කොමිෂන් වාර්තාවට එරෙහිව නඟන හඬ පිළිගත නොහැකි බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය. එසේම මෙම ජනපති කොමිෂම පත්කරනු ලැබුවේද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යැයිද ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ කැබිතිගොල්ලෑව බෝම්බය පිපිරුණු අවස්ථාවේ එතුමා එම ස්ථානයට ගොස් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ වගකීම භාර ගත් බවත් මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදීන් වසා දැමූ අවස්ථාවේ ජනතාවට ජලය දීමේ සඳහා සොරොව්ව විවෘත කිරීමේ වගකීමද ජනාධිපතිවරයා භාර ගත් බවත් කී අමුණුගම මහතා එදා එලෙස ජනපතිවරයා වගකීම භාර ගත් සේ යහපාලන සමයේ සිදු වූ අන්තවාදී ප්‍රහාරය සම්බන්ධ වගකීම එම ආණ්ඩුවේ නායකයන්ට පැවරෙන බවද අවධාරණය කළේය.

අඩු තරමේ එම ආණ්ඩුවේ සිටි නායකයන් මේ ප්‍රහාරය තමන්ට වළක්වා ගැනීමට නොහැකි වීම පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලීමටවත් උනන්දුවක් නොදැක්වුවේ යැයි ඒ මහතා කීය.

 

 අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න