උතුරේ වසා දමා ඇති සියලු කම්හල් යළි විවෘත කළ යුතුයි රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් | දිනමිණ

උතුරේ වසා දමා ඇති සියලු කම්හල් යළි විවෘත කළ යුතුයි රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්

උතුරු පළාතේ දැනට වසා දමා ඇති සියලුම කර්මාන්තශාල ඉතා ඉක්මනින් යළි ආරම්භ කොට රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව යාපනයේ සංචාරයක නිරත වූ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා (27) පැවසීය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආයෝජන හා ණය පහසුකම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවට යාපනයේ මුල්‍ය සමාගම් නියෝජිතයන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

බෝට්ටු තැනීම, කෘෂිකර්මාන්තය වැනි දේ තුළින් උතුරේ ජනතාවගේ ආර්ථිකය දියුණු කළ හැකි බවත් උතුරේ ජනතාවගේ ආර්ථික ක්‍රමෝපායන් දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් මේ වන විට සිදු කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

උතුරු පළාතේ සිටින ස්වයං රැකියාවල නිරතවන්නන් හා මධ්‍යම හා කුඩා පරිමාණයේ නිෂ්පාදකයන්ව හඳුනා ගෙන ඔවුන්ට මූල්‍ය පහසුකම් දීමට බලාපොරොත්තු වන බවත් උතුරේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සදහා විශේෂ පියවර රැසක් ගන්නා බවත් අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් ‍කළේය.

ක්ෂුද්‍ර මුල්‍ය ණය පහසුකම් නිසා විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම ණය ක්‍රමය ශ්‍රී ලංකාව තුළම එක් ක්‍රමවේදයකට යටත්ව සිදු කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.

රසුල දිල්හාර ගමගේ උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න