පසුගිය ආණ්ඩු සමයේ රෝහල්වල ඖෂධ හිඟයක් තිබුණේ නෑ මන්ත්‍රී, වෛද්‍ය රාජිත සේනාරත්න | දිනමිණ

පසුගිය ආණ්ඩු සමයේ රෝහල්වල ඖෂධ හිඟයක් තිබුණේ නෑ මන්ත්‍රී, වෛද්‍ය රාජිත සේනාරත්න

පසුගිය ආණ්ඩු සමයේ කිසිදු රෝහලක ඖෂධ හිඟයක් නොතිබූ බවත්, වත්මන් ආණ්ඩුව යටතේ විශාල ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

"අද විශාල ඖෂධ හිඟයක් තියෙනවා. පිළිකා ඖෂධ නැතුව එම රෝගීන් ගණන වැඩි වෙමින් යනවා. තැලසීමියා රෝගීන් සඳහා භාවිත කළ හැකි මධ්‍යස්ථාන සංකීර්ණයක් අපි මහනුවර ආරම්භ කරා. එහි ඉදි කිරීම් නතර වෙලා. අද එම රෝගීන් ගැන හොයන්නෙත් නැහැ. අද සියල්ල රෝහලෙන් පිටතින් ගන්න තියෙන්නේ. අපේ කාලයෙන් පසුව මේ ආණ්ඩුව සෞඛ්‍ය උපකරණ ගෙන්නවලත් නැහැ. ලැබුණු පීසීආර් යන්ත්‍ර පවා ආධාර ලැබුණු ඒවා. අද ඖෂධවල මිල කිසිම පාලනයක් නැහැ. මිල පාලන ගැසට් එක මම අත්සන් කරා. තවම මේ ආණ්ඩුව එය ක්‍රියාත්මක කරලා නැහැ. මහලොකු දේශප්‍රේමී ආණ්ඩුව ජනතාවාදී කියන ආණ්ඩුව ජනතාවට ඖෂධ මිල පාලනය කරලා නැහැ.

රජයේ සෞඛ්‍යට ඇමැතිවරු හතරක් ඉන්නවා. ඖෂධවලට වෙනම ඇමැතිවරයෙක් ඉන්නවා මහාචාර්ය කෙනෙක්. නමුත් මිල පාලනය කරගන්න බැහැ. මිනිස්සු අසරණ වෙලා. අද රැවටිලි දේශපාලනයක් තියෙන්නේ. පසුගිය ආණ්ඩුව කාලයේ කිසිදු රෝහලක බෙහෙත් හිඟයක් තිබුණේ නැහැ. සියලුම ⁣රෝහල්වල බෙහෙත් තිබුණා. ඒ වගේම එදා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට අත්පිට මුදල් දීලා තිබුණා. ඒ බෙහෙත් හිඟයක් ඇති වුණොත් රෝගීන් අපහසු නොකර ඖෂධ ලබා ගන්නයි. ජාතික රෝහලේ අධ්‍යක්ෂටත් මිලියන 25ක අත්පිට මුදල් දීල තිබුණා.

එදා සේලයින් බෝතල් පවා අපේ රටේ හැදුවා. අද ⁣⁣සෞඛ්‍ය ක්‍ෂත්‍රයේ විශාල වංචා වෙනවා. ඒවා ඉදිරියේදී හෙලි කරන්න බලාපොරොත්තු වෙනවා. එදා අපිට චෝදනා කරා බාල බෙහෙත් ගෙන්වලා කියලා. අභියෝගය කරනවා ඒක ඔප්පු කරන්න කියලා.

එදා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගන්න හදනව කියලා මාව ජනාධිපති කොමිසමටත් කැදෙව්වාඅද ප්‍රධාන කොරෝනා මධ්‍යස්ථානයක් වෙලා එහි ඇඳන් 400 නැති වුනා නම් බලන්න තිබුණා. අද එම රෝහලෙන් විශාල මැසිවිල්ලක් නගනවා එම කාර්ය මණ්ඩලයට එන්නත් දීලා නැහැ කියලා. එම එන්නත් සියල්ල පිටට දීලා. සියලුම වෘත්තීය සමිති කඩා වැ⁣ටිලා. GMO එක නිදාගෙන ඉන්නවා. ඒ අය කියන්නේ රාජපක්ෂලා කරන ඕන දෙයක් හරි කියලා. වෘත්තීය සමිති ඉල්ලීම් ඉටු කරගන්න GMO එකට බැහැ. එන්නත් ලක්ෂ පහයි ගෙනාවේ ජනගහනය ලක්ෂ 210කට ආසන්න ඉන්නවා. එම එන්නත් ටිකත් නොමිලයේ ලැබුණේ. ඉදිරියේදී එන ටිකත් ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේ ලබා දෙන එවා. දැන් කියනවා අනිත් රටවල්වලට වඩා එන්නත් අපි කරනවා කියලා. එන්නත්කරණය අතින් අපි තමයි ඉහළින්ම හිටියේ. අද පහළට වැටිලා. අපේ එන්නත්කරණය අධ්‍යයනය කරන්න වෙනම කණ්ඩායමකුත් ආවා. එසේ තිබුණු රටක් තමයි අද එන්නත් ගේන්න මුදල් නැතුව බිලියන 10ක් ණයට ඉල්ලන්නේ. හැබැයි ආණ්ඩුව හිතවතුන්ට බිලියන 10ක් සීනිවලින් දෙනවා. සජාන් මොහොමඩ් තමයි සීනිවලින් බිලියන 10ක් ගැහුවේ."

නව අදහස දක්වන්න